kandana-fire-kehelbaddara-padme

කඳාන, පොල්පිති මුකලාන ප්‍රදේශයේ ය මාවතේ පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවෙසකට ඊයේ (05දා) උදෑසන යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කඳාන පොලීසිය පවසයි.

මෙම සිද්ධියෙන් නිවසේ වීදුරු ජනෙල් දෙකකට අලාභ හානි සිදුව ඇතත්, නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවද පොලීසිය පවසා සිටියි.

මීට දින කිහිපයකට ඉහත අදාළ ව්‍යාපාරිකයා වෙත විදේශ රටක සිට ජංගම දුරකථනය ඔස්සේ රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනාත්මක පණිවුඩයක් ලද බවත්, එය තම ව්‍යාපාරික මිතුරෙකු හරහා ලැබී තිබුණ බවත් විමර්ශනයේදී ඔහු විසින් සඳහන් කළ බව පොලීසීය පවසයි.



මේ අවස්ථාවේදී තමා එම ඉල්ලීම එක හෙළා ප්‍රතික්‍ෂේප කර සිටි බවද පැමිණිල්ල ඉදිරිපත් කරමින් තිදරු පියෙකු වූ 38 හැවිරිදි ව්‍යාපාරිකයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අදාළ සිද්ධිය පෞද්ගලික ප්‍රශ්නයක් මත සිදුවූවක්ද, ව්‍යාපාරික ප්‍රශ්නයක් මත සිදුවූවක්ද, එසේ නැත්නම් සංවිධානාත්මක අපරාධ කල්ලි මැදිහත් වීමෙන් කප්පම් මුදලක් ලබාගැනීමේ අරමුණින් සිදුකළ බියගැන්වීමක් හෝ තර්ජනය කිරීමක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යන බවද පොලීසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය දැනට ඩුබාහි ජීවත්වන 'කෙහෙල් බද්දර පද්මේ' නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවන ලද්දක් බවට සැක කළ හැකි තොරතුරු මේ වනවිට ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනය සිදුකරන බවද පොලීසිය පවසයි.



සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නැත.

සහකාර පොලිස් අධිකාරී ධනංජය පෙරමුණ මහතාගේ අධීක්‍ෂණය යටතේ කඳාන පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උපපොලිස් පරීක්‍ෂක ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.

- ජාඇල - තිස්ස කොටින්කඩුව/ ජාඇල - ප්‍රසංග පෙරේරා