ලෝක ළමා දිනයට ඇදීමට අලුත් ගවුමක් නොමැති වූ බැවින් ඩෙනිම් කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසී ආවේ යැයි කියමින් කෑගල්ල ප්‍රදේශයේ විදුහලක විදුහල්පති හිමි නමක හා උප ගුරුවරයකු කනට පහර දුන් බව පවසා ශිෂ්‍යාවක කෑගල්ල මහ රෝහලට පෙරේදා (16) ඇතුළත් වී ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
මෙලෙස රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල දීවෙල ප්‍රදේශයේ පදිංචිව 15 හැවිරිදි ශිෂ්‍යාවක බව ද පොලිසිය සඳහන් කරයි. කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ශිෂ්‍යාව මවුපියන්, වැඩිමල් සොහොයුරා හා බාල සොහොයුරා සමග නිවසේ පදිංචිව සිටියි. මෙම ශිෂ්‍යාව ගම් ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් ඇගේ බාල සොහොයුරා ද එම පාසලේම ඉගනුම ලබන බවත් පොලිසිය පැවැසීය.ලෝක ළමා දිනය පැවැති ඉකුත් 01 වැනිදා විද්‍යාලයේ ළමා දින සැමරුම් උත්සවයක් විදුහල්පති හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කර තිබුණු අතර ගැහැනු දරුවන්ට පාට ගවුම් ඇඳගෙන එන ලෙස ඊට පෙර දිනෙක ආචාර්ය මණ්ඩලය දන්වා ඇති බවත් පොලිසිය කීය. පහර කෑමට ලක්ව ඇති ශිෂ්‍යාවට අලුත ගෙනා ගවුමක් නොමැති වූයෙන් ඇය ඩෙනිම් කලිසමක් හා ටීෂර්ටයක් හැඳගෙන එදින උදේ පාසලට ගොස් තිබේ. උදේ අටට පමණ විදුහල්පති කාර්යාලය අසල දී උප ගුරුවරයකු ශිෂ්‍යාවන් පිරිසක් මැද ගමන් කරමින් ඩෙනිම් ඇඳ සිටි ශිෂ්‍යාව දැක කියා ඇත්තේ "අද ගවුමක් ඇඳගෙන එන්න කියලා තියෙද්දී මොකටද ඩෙනිමක් ඇඳ ගෙන ආවේ. ගැහැනු දරුවෙක් වගේ නෙමේ මිනිහෙක් වගේ" යනුවෙනි. පසුව විදුහල්පති හිමියන් ද පැමිණ සිසුවියට කියා ඇත්තේ උප ගුරුවරයා කියූ දේමය.
එවිට ශිෂ්‍යාව කියා ඇත්තේ ඇඳගෙන එන්න තරම් අලුත් ගවුමක් නොතිබුණු බවත් ඩෙනිම් කලිසම ඇඳගෙන ආවේ කරන්න දෙයක් නොමැති තැන බවත්ය.එදින පැවැති ළමා දින උත්සවයට ශිෂ්‍යාව සහභාගි වී නිවසට පැමිණ එදින අනෙක් සිසුවියන් ඉදිරියේදී තමා අපහසුතාවට පත්වූවා යැයි පවසා පාසල් යෑම නතර කර නිවසට වී සිට ඇත.දැරිය පාසල් නොයා නිවසේ සිටින බව අසල්වැසියකු දැක මවට කියා ඇත්තේ කෑගල්ල කලාප කාර්යාලයට ගොස් දියණිය පාසල් යෑමට අකැමැත්ත ප්‍රකාශ කරන බව දන්වන ලෙසය. ශිෂ්‍යාවගේ මව ඉකුත් 09 වැනිදා කෑගල්ල කලාප කාර්යාලයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර තිබේ. එහිදී මවට බලධාරීන් කියා ඇත්තේ දියණියට හෙට පාසලට යන්න කියන ලෙසත් පාසලේ පාසලේ විදුහල්පති හිමියන්ට කතා කර දන්වන බවත්ය.
ශිෂ්‍යාව 10 වැනිදා පාසලට ගිය අවස්ථාවේ දී විදුහල්පති හිමියන් හා උප ගුරුවරයකු ශිෂ්‍යාවගේ කනට පහර දී ඇතැයි කියති. සිසුවිය නිවසට ගොස් එම පහර දීම ගැන මවට දන්වා තිබේ.
පසුව මව දියණියට ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර කන කැක්කුම යැයි පවසා ශිෂ්‍යාව පෙරේදා (16) කෑගල්ල මහ රෝහලට පැමිණ ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ කෑගල්ල මූලස්ථාන පොලිසියට දැනුම් දී ඇත.
චමින්ද වැවතැන්න
0 Comments