අනුරාධපුර කිරිබත් වෙහෙර ආරාම සංකීර්ණය ඩෝසර් යන්ත්‍ර යොදවා සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇතැයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ චෝදනා කරති.
සමිත හිමියන් මෙසේ චෝදනා කළේ බටලීයේ පිහිටි එම සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී සමිත හිමියෝ මෙසේද පැවසූහ.
මෙම භූමිය ක්‍රිස්තු වර්ෂ 5-6 අනුරාධපුර මධ්‍ය කාලයට අයත් එකක්. භුමිය පුරා තැන තැන විසුරුණු පැතුරුණු පුරාවස්තුවලට දැඩි ලෙස හානි කර තිබෙනවා. පොහොය ගේ, පිළිමගේ, භික්ෂු ආරාම කුටිවලට විශාල හානියක් කර තියෙනවා.
1931 යටත් විජිත සමයේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කර තිබුණත් කිසිම රජයකින් මෙතෙක් මායිම් කණු යොදා භූමියට සුදුසු ආරක්ෂාවක්ද යොදා නැති ගල්කඩවල හල්මිල්ල කුලම නම් පුරාවිද්‍යා රක්ෂිතයට මෙසේ හානි කර තිබෙනවා .
මෙම භූමිය 1931 මාර්තු 13 වැනි දින අංක 7834 දරන ගැසට් පත්‍රයෙන් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස මැණුම් කර වෙන් කර තියෙනවා. මෙහි ප්‍රමාණය අක්කර 21 කට මඳක් වැඩිය. දැනට මසකට පමණ පෙර මෙම මුළු පුරාවිද්‍යා රක්ෂිතයම ඩෝසර් කර විනාශයට පත් කරලා. මෙම ස්ථානය ඩෝසර් කළ පුද්ගලයන් 13 දෙනකුගේ නම් ග්‍රාම නිලධාරිගෙන් ලබාගෙන ඉකුත් 3 වැනිදා ඇලයාපත්තුව පොලිසියට පැමිණිලි කර ඇතත් එහි ස්ථාන බාර නිලධාරියා මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස් නිලධාරීන්ට දන්වා පසු දින එම ස්ථානයට ගිය ද පොලිස් නිලධාරීන් පරීක්ෂණයක්වත් ආරම්භ කර නැති බව අපට පේනවා.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති වශයෙන් මේ ගැන ඇලයාපත්තුව පොලිස් ස්ථාන බාර නිලධාරි ගෙන් විමසූ විට ඔහු කීවේ එන සතියේ බදාදා එහි යන බවයි. ඓතිහාසික සිද්ධස්ථාන භූමියකට සිදුවන හානියක් සම්බන්ධයෙන් මෙසේ පරීක්ෂණ ප්‍රමාද කිරීම සැකයට කරුණක්.
පැහැදිලිවම එම නිලධාරියා මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට කිසිම උත්සාහයක් නොකරන බව පේනවා. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරිය ඇමතුව ද ඇයගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. වට්ස්ඇප් පණිවඩයකින් ඇය දැනුවත් කළා. එසේම ඇමැතිතුමා ද දුරකතනයෙන් දැනුවත් කරන්නට අප සංගමය පියවර ගෙන තිබෙනවා.
පුෂ්පකුමාර මල්ලවආරච්චි
0 Comments