kirulapone-thief-nabbed

කිරුළපන පොලිස් වසමේ නිවාස හතරකට ඇතුළු වී රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා විදේශීය මුදල් තොගයක් සොරා ගෙන අයිස් පානයට පුරුදුව සිටි දෙදෙනකු සොරාගත් භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල දඹගල්ලේ පදිංචි (26) සහ වැල්ලවායේ පදිංචි (56) දෙදෙනකු බව පොලීසිය කියයි.කිරුළපන පීරිස් මාවතේ නිවසක දොරගුලු කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් හා බැංකු කාඩ්පතින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා කිරුළපන පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව නිවස අවට සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයා ඉකුත් ජනවාරි 06 දා කිරුළපන රජවත්ත ටෙරස් හී නිවසක් කඩා රුපියල් ලක්ෂ 09 වටිනා රන් භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ සිද්ධියකට පොලීසිය සොයමින් සිටි පුද්ගලයා බවට තොරතුරක් අනාවරණය වී තිබුණි.



ඒ අනුව කිරුළපන සුපිරි වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටිය දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900 සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී කිරුළපන, වැලිකඩ, නිවාස 4ක් කඩා මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධින් රැසක තොරතුරු අනාවරණය වී තිබේ. පසුව සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී වැලිකඩ ප්‍රදේශයේ නිවසකින් සොරාගත් ඇමරිකානු ඩොලර් 1250 ක් හා රන් පවුම් තුනක රන් භාණ්ඩ, කළුබෝවිල ඇන්ඩර්සන් මාවතේ නිවසකින් පවුම් අටක් වටිනා රන් වළල්ලක් හා රන් මාලයක්, කිරුළපන රජවත්ත ටෙරස් නිවසකින් රුපියල් ලක්ෂ නවයක් වටිනා මුදල්

හා රන් භාණ්ඩ හා කිරුළපන පිරිස් මාවතේ නිවසකින් සොරාගත් රුපියල් ලක්ෂ 5 මුදල හා බැංකු කාඩ් පතින් වංචා කළ රුපියල් ලක්ෂ දෙකක මුදල පොලිස් භාරයට ගෙන තිබේ. එම රන් භාණ්ඩ වැල්ලවාය ප්‍රදේශයේ උකස් භාණ්ඩ අලෙවි සැලකට උකස් කර තිබිය දී බාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් දෙදෙනා අළුත්කඩේ අංක තුන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.