කොග්ගල ප්රදේශයේ රාජ්ය බැංකුවක ගිණුම් හිමියන්ගේ තොරතුරු ඇතුළත් පරිගණක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇඟලුම් කම්හල් සේවිකාවකගේ ගිණුමින් රුපියල් දාහත් ලක්ෂයකට අධිකමුදලක් වංචනික ලෙස ලබා ගෙන ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කරන මාපලගම ප්රදේශයේ තරුණියක සිය වැටුපෙන් එකතු කරගත් රුපියල් ලක්ෂ 13ක පමණ කොග්ගල රාජ්ය බැංකු ශාඛාවක ගිණුමක් ආරම්භ කර පවත්වා ගොස් ඇති අතර ඇඟලුම් කම්හල වසා දැමීම නිසා ඇයට රුපියල් ලක්ෂ 16 ක වන්දියක් ද ලැබී ඇත.
එම මුදලද සමඟ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලකින් ඇය පසුගිය වසරේ ජුලි මාසයේදී රුපියල් ලක්ෂ 15ක ස්ථාවර ගිණුමක් ආරම්භ කර ඇත. මෙම වසරේ ජුලි මස ස්ථාවර ගිණුමට කල් පිරීමෙන් පසු ඇය රුපියල් ලක්ෂ දහයක් ලබාගෙන ඉතිරි ලක්ෂ 20 කට ආසන්න මුදල ගිණුමේ තිබියදී ඇය ගිණුමේ ඇති මුදලින් යළිත් රුපියල් ලක්ෂ 15 ක ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීමට පසුගියදා බැංකුවට ගොස් ඇත.
එහිදී බැංකුවේ නිලධාරීන් පවසා ඇත්තේ ගිණුමේ ඇත්තේ රුපියල් විසි එක්දහසක් පමණක් බවය. එවිට ඇය කළමනාකරු හමුවී මේ ගැන පැවසූ විට කළමනාකරු පරීක්ෂා කර බලා පවසා ඇත්තේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 17කට අධික මුදල හැක් කර ඇති බවය. පසුව ඇය මේ පිළිබඳව ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.
ඩී.ජී. සුගතපාල
0 Comments