kothmale-sound

කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ අද්භූත ශබ්දය හටගන්නා ප්‍රදේශය පෙර වැවක් තිබුණු ප්‍රදේශයක් බවත් එම ප්‍රදේශයේ යටින් ජල කාන්දුවීමක් දක්නට ලැබෙන අතර එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවත්, ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මාණය විය හැකි ප්‍රවණතාවක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.



අදාළ ප්‍රදේශයේ ඊයේ (19දා) පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් හමුවේ අදහස් දක්වමින් මහාචාර්යවරයා මේ බව පවසා සිටියේය.

පසුගිය දින කිහිපය තුළ කොත්මලේ හැදුනුවැව වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණය යටින් විශාල ශබ්දයක් නැගෙන බව සහ ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ඉල්ලීම මත මෙම පක්ෂණය පැවැත්විණි.

මෙහිදී ආන්දෝලනයට තුඩුදුන් භූමිය පරීක්ෂා කිරීමක් සිදු කෙරුණු අතර, එහි තත්ත්වයන් පිළිබඳ හා ඇසෙන ශබ්දයට හේතුව පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා කටයුතු කළේය.

මෙම ප්‍රදේශය පෙර කල වැවක් තිබුණු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ යටින් ජල කාන්දු වීමක් දක්නට ලැබෙන අතරෙ, එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවත්

ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මාණය වීමේ ප්‍රවණතාවක් ඇති බවද මහාචාර්යවරයා මෙහිදී පැවසීය.

නිල වශයෙන්ම භූමිය පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස එම ප්‍රදේශයේ පදිංචිකරුවෝ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ඉල්ලා සිටිති.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහත්වරුන් ඇතුළු සහ ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

  හැටන් - රංජිත් රාජපක්ෂ