kottawa-arrest

දිවයිනේ සුප්‍රසිද්ධ ඇස් කන්නාඩි ආයතනයකින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා ඇස් කන්නාඩි අටසිය අනූවක් ඇතුළු ස්ථාන රැසකින් සොරාගත් රන් භාණ්ඩ හා දේපළ සමග සන්නිවේදන කුලුනු ඉදිකරන සමාගමක හිමිකරුවකු ඇතුළු සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.සිය අනියම් රිය සමග ප්‍රධාන සැකකරු තම ජීවනෝපාය සලසා ගැනීම සඳහා වැටුප් ගෙවමින් තවත් සිවු දෙනකු ද සේවයට බඳවාගෙන කොට්ටාව, තලංගම, අතුරුගිරිය සහ මාලබේ යන පොලිස් වසම් වලින් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපළ මෙසේ සොරාගෙන ඇති බව පොලිසිය කියයි.



ඒ අනුව සොරාගත් ඇස් කන්නාඩි අටසිය අනූවකින් ඇස් කන්නාඩි 597 ක්, එල්.ඊ.ඩී රූපවාහිනී යන්ත්‍ර තුනක්, රන් පවුම් පහක් හා ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 48ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට පෙර කොට්ටාව ප්‍රදේශයේ ඇස් කන්නාඩි අලෙවි සැලකින් ඇස් කන්නාඩි 890 සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලීසියට ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන සිදු කරමින් සිටි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට තොරතුරක් ලැබී තිබුණේ සැක කටයුතු මෝටර් රථයක් කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ නවතා තිබෙන බවටයි.

ඒ අනුව නිලධාරී කණ්ඩායමක් ක්ෂණිකව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී සැක කටයුතු ලෙස පුද්ගලයන් සිව් දෙනකු රැඳී සිටි මෝටර් රථයක් හමු වී තිබේ.

පසුව එම මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී ඇස් කන්නාඩි 597, අඟල් 40, 42 සහ 52 වර්ගයේ එල්.ඊ.ඩී. රූපවාහිනී යන්ත්‍ර තුනක්, ජංගම දුරකථනයක්, රන් පවුම් පහක රන් භාණ්ඩ හා වැගන් ආර් මෝටර් රථයක පැති කන්නාඩි දෙකක් හමු වී තිබේ.ඒ අනුව මෝටර් රථයේ තිබූ භාණ්ඩ පිළිබඳව එහි සිටි සිව් දෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදු කිරීම නිසා සැක සිතී අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී කොට්ටාව පොලිස් වසමේ තවත් ව්‍යාපාරික ස්ථානයක් ඇතුළු නිවාස අටක් කඩා මුදලින් රුපියල් 360,000 හා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක තොරතුරක් ද අනාවරණය වී තිබුණි. ඒ අනුව තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී පොලිස් භාරයට ගත් ඇස් කන්නාඩි 597 කොට්ටාව ඇස්කන්නාඩි අලෙවි සැලෙන් සොරාගත් ඒවා බවත් ඉන් ඇස් කන්නාඩි 303 ප්‍රධාන සැකකරුවකුගේ මිතුරෙකු සන්තකයේ තිබෙන බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

මීට අමතරව හෝමාගම නගරයේ පෞද්ගලික ආයතනයක සේප්පුවක් කපා රුපියල් 140,000 මුදලක් සොරා ගැනීම, අතුරුගිරිය නගරයේ වෙළෙඳසැලක 250,000 වටිනා ජංගම දුරකථන සොරා ගැනීම, මාලබේ නිවාස තුනකින් රුපියල් ලක්ෂ පහක් වටිනා රට බීම හා රූපවාහිනී යන්ත්‍ර තුනක් සොරාගැනීම, තලංගම නිවසකින් රන් පවුම් හතළිහක් සොරා ගැනීම ඇතුළු සොරකම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.ඊට අමතරව සැකකරුට එරෙහිව ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු දෙකක් නිකුත් කර ඇති බව ද පැවසේ. මේ වන විට ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇය සමග තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.අත්අඩංගුවට ගත් උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි ‘චූටි” හා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි “චුක්කා” ඇතුළු සිව් දෙනෙකු (04) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න