kottawa-theft-arrested

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරු පැදි හා ත්‍රීරෝද රථ කොල්ල කා ඒවායේ පැහැය වෙනස් කොට මහ මග ගමන් ගන්නා කාන්තාවන් විසි අට දෙනෙකුගේ රන් මාල කොල්ල කෑ කල්ලියක තිදෙනකු හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් පන්සියයක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

ඒ සමග කොල්ලකන ලද යතුරුපැදි පහක්, ත්‍රීරෝද රථයක්, ව්‍යාජ අංක තහඩු දෙකක්, වාහන පණගැන්වීමට භාවිතා කරන යතුරු දෙකක්, භාරයට ගත් බව පොලිසිය කියයි.

කුලී ගමනක් යන මුවාවෙන් රාජගිරියේ සිට පෝරරගොඩැල්ල ප්‍රදේශයට පැමිණ එහි රියැදුරුට පහර දී පුද්ගලයන් තිදෙනකු ත්‍රිරෝද රථයක් කොල්ල කා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට දින කීපයකට පෙර කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.



ඒ පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටියදී යතුරු පැදි වලින් පැමිණි සැකකටයුතු ලෙස පුද්ගලයන් තිදෙනකු කොට්ටාව මාලපල්ල ගුවන් පාලම අසල රැඳී සිටින බවට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකබුද්ධික චතුරංග මහතාට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය හරහා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් තිදෙනකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500 තිබී හමුවීමත් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි හා ත්‍රීරෝද රථ කොල්ල කා බස්නාහිර පළාතේ රන්මාල කොල්ලකෑම් විසි අටක තොරතුරු අනාවරණය වී තිබේ.



සැකකරුවන් පැමිණි යතුරුපැදි 3 ක්, වාහන පණගැන්වීමට භාවිතා කරන යතුරු දෙකක්, ව්‍යාජ අංක තහඩු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොට්ටාව ප්‍රදේශයෙන් කොල්ල කෑ ත්‍රීරෝද රථය හා තවත් යතුරු පැදි දෙකක් තලංගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

වැලිකඩ බොරලැස්ගමුව පානදුර කඩුවෙල බොරැල්ල යන පොලිස් වසම් වලින් යතුරුපැදි පහ කොල්ලකා තිබූ අතර කොට්ටාව පොලිස් වසමෙන් ත්‍රීරෝද රථය කොල්ලකා ඇත. එසේ කොල්ල කන යතුරුපැදි වල පැහැය වෙනස් කොට, යතුරු කටවල්කඩා ඒවායින් ගොස් හෝමාගම, මහරගම, අතුරුගිරිය, කොට්ටාව, මාලබේ, දෙහිවල සහ පානදුර යන පොලිස් වසම් වල මහ මග ගමන් ගන්නා කාන්තාවන් 28 දෙනකුගේ රන්මාල 28 කොල්ලකා ඇති බවට අනාවරණය වී තිබේ.



එම රන්මාල වෙනත් පුද්ගලයකු හරහා උකස් කොට ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් එම භාණ්ඩ සොයා ගැනීමට නොහැකි  වී ඇති අතර එම සකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් තලංගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27, 22, 29 වයස්වල පසුවන සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කොට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන්, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස් ජයමහ හා සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග, පොලිස් කොස්තාපල් වරුන් වන (73074) ලක්මාල්, (80094) ජයන්ත, (84555) රොෂාන් (94036) විජේසිංහ (99619) දිසානායන (101997) රත්නායන ඇතුළු නිලධාරීහූ වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.
- මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න