kudu-anju-france

ප්‍රංශයේ බන්ධනාගාරයක රිමාන්ඞ් භාරයේ පසුවන පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන, සිංහාරගේ අමල් සිල්වා හෙවත් රත්මලාන කූඩු අංජු නමැත්තාට ලබාදී තිබූ දේශපාලන රැකවරණය පසුගිය සති අන්තයේ එරට බලධාරීන් විසින් අත්හිටුවනු ලැබ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.මෙරට සිට ඩුබායි රටට හොරෙන් පලාගිය අංජු නමැත්තා සරණාගතයකු ලෙස දේශපාලන රැකවරණ පතා ප්‍රංශයට සංක්‍රමණය වී සිටි බව එ රටින් ලැබෙන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.



සරණාගතයකු ලෙස ප්‍රංශයට ගිය ඔහු එරට අවන්හලක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන ගිය අතර ඊට මුදල් ලැබුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ එරට අධිකරණයක් මගින් ඔහුට එරෙහිව නඩු විභාගයක් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි. සිය විවාහක බිරියට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියමින් බිරිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කුඩු අංජු නමැත්තා ප්‍රංශ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේ දී ය.

අත්අඩංගුවට ගත් ඔහු ගැන විමර්ශනයක් ආරම්භ කළ අතර සරණාගතයකු ලෙස පැමිණ ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන යමින් ඔහු මහා ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවට එහිදී තොරතුරු හෙළි විණි යැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.ප්‍රංශ පොලීසියේ අත්අඩංගුවට පත්වන විට ඔහු ප්‍රංශ ජාතික සුරූපිනියක සමග ජීවත්වෙමින් සිට ඇතැයි ද පැවසේ.

කුඩු අංජු නමැත්තාට ප්‍රංශ බලධාරීන් විසින් දෙන ලද දේශපාලන රැකවරණ අත්හිටුවා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව මෙරට පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ද කළ විමසුමකදී පැවසූහ. දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ පොදු පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකුව සිටි රංජන් සිල්වා මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ද ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අයකු යැයි රහස් පොලීසිය සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය