kumara-dharmasena-narahenpita-house

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනි අවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව  පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ සභාපති හා ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන, ඔහුගේ බිරිය හා එහි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු 12 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිසියට නියෝග කර තිබෙයි.


ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාලිංග ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලා මෙම නියෝගය නිකුත් කෙරිණි.



සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර ධර්මසේන ඇතුළු වගඋත්තරකරුවන් 12 දෙනෙකුට ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගිය නඩු වාරයේදී අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබු අතර
 ධර්මසේන විදේශගතව සිටීම හේතුවෙන් ඔහු හැර සෙසු වගඋත්තරකරුවන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

මෙම පිරිස නාරාහේන්පිට පිහිටි පරිවස් 82කට අධික විශාල ඉඩමකට සහ එහි පිහිටි “පාරික්ලීන්” නමැති නිවසට බලහත්කාරයෙන් ඇතුළුවී අහසට වෙඩි තබා සාමය කඩවන ලෙස හැසිරි එහි සිටි ආරක්ෂක නිලධාරින්ට තර්ජනය කර ඔවුන් පන්නා දමා ඉඩම බලහත්කාරයෙන් අත්පත්කරගැනීමට උත්සාහ දරා තිබුණි.
නඩු නිමිත්තට අදාළ ඉඩම සහ නිවස ඇතුළු දේපළ එහි පෙර පදිංචිකරුවකු වන (මේ වන විට විදෙස්ගතව සිටින ) ජයේන්ද්‍ර වීරසේකර යන අය විසින් වසර දෙකක බදු පදනම මත තමාටත් තම බිරිඳ වන ක්‍රිස්ටා රොබිනා වැන්ඩර් ෂුට් යන අයටත් ඉකුත් 2021 අගෝස්තු මාසයේ දී මාසික කුලිය රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලකට ලබාදුන් බවත්,


අදාළ මාසික කුලිය තමන් විසින් ජයේනද්‍ර වීරසේකර යන අයගේ නමින් බැංකු ගත කරනු ලැබූ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.
නිවසේ තමන් වාසය කරමින් සිටිය දී අදාළ පරිශ්‍රයට යාබදව පිහිටා ඇති කොළඹ 05 ඉසිපතනාරාමයේ විහාරාධිපති හිමියන් සහ එහි භාරයේ භාරකරුවන් පිරිසක් පැමිණි තමන් වාසය කරන නිවස එම විහාරස්ථානයට අයත් එකක් බවත් නැවත නව බදු ගිවිසුමකට එළැඹීමට එකඟ නම් තවදුරටත් එහි පදිංචිව සිටීමට හැකියාවක් ඇති බවත් දැනුම් දුන් බවත් පැමිණිලිකරු දන්වා තිබේ.
මේ අතර තමා විදෙස්ගතව සිටින විටෙක  අයකු වට්ස්අප් මාර්ගයෙන් තමන් අමතා වහාම අදාළ පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවත් ඒ සඳහා රුපියල් මිලියන සියයක මුදලක් ලබාදීමට සුදානම් බවත් ඒ සඳහා නොයෙකුත් ආකෘති පත්‍ර සහ ලේඛන තමන් වෙත එවූ බවත්   අදාළ පරිශ්‍රය කුමාර ධර්මසේන යන අයකු විසින් මිල දී ගනු ලැබ ඇති බැවින් මින් ඉදිරියට එහි කටයුතු සඳහා කුමාර ධර්මසේන යන අය සමග සම්බන්ධ වන ලෙස දන්වා තිබූ බවත් දන්වා තිබේ.
 අදාළ පරිශ්‍රයට සැකකටයුතු පුද්ගලයන් විශාල පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී සිටි බවට කරුණු තහවුරු වීම හේතුවෙන් තම රියැදුරා වන නාදන් යන අය ඉකුත් 2023 අගෝස්තු මස 17 වන දින නාරාහේන් පිට පොලිසියට පැමිණිලි කළ බවත් පසුව පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට කුමාර ධර්මසේන යන අය තමාට තර්ජනාත්මකව ප්‍රකාශ කර සිටි බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.



සිදුවීම සිදුවූ දිනයේම නිවසේ පදිංචිකරුවන් වෙනුවෙන් එහි රියැදුරු අගෝ 17 වනදා නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර ඇති නමුත් පොලිසිය ධර්මසේන හෝ කිසිවෙකුගෙන් ප්‍රකාශයක් හෝ ලබාගෙන නොතිබිණි.
පැමිණිල්ල සිදුකර මාසයකුත් දින තුනක් ගත වූ පසුව ධර්මසේන පැමිණිලි පාර්ශ්වයට විරුද්ධව පැමිනිල්ලක් කර තිබූ අතර
එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මකවී මුලින් පැමිනිලි කළ පාර්ශ්වයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනි.

පැමිණිලි පාර්ශවය මුලින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකර වගඋත්තරකාර පාර්ශවය ඉන් මාසයකුත් දවස් තුනකට පසුව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පමණක් විමර්ශනය සිදු කළේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා නාරාහේන්පිට පොලිසියෙන් විමසා තිබෙයි.
නාරාහේන්පිට ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ,  විධිමත් විමර්ශනයක් සිදුකිරීමට කිසියම් කාලයක් ගතවූ බවයි.