kumara-dharmasena-narahenpita-house

නාරාහේන්පිට පිහිටි පරිවස් 82කට අධික විශාල ඉඩමකට සහ එහි පිහිටි “පාරික්ලීන්” නමැති නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින්, කොළඹ අතිරේක මහේස්ත්‍රාන් පසාන් අමරසිංහ මහතා – පින්තැන්න ප්ලාන්ටේෂන් (පුද්.) සමාගමේ සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතාටත් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු දොළොස් දෙනකුට ඊයේ (03) නොතීසි නිකුත් කළේය.

නාරාහේන්පිට පිහිටි පර්චස් 82 කට අධික ඉඩමට සහ එහි පිහිටි අංක 512 දරන ' පාක්ලීන් නිවස ඇතුළු අනෙකුත් ගොඩනැගිලි යනාදියට මෙහි වග උත්තර කරුවන් වන කුමාර ධර්මසේන හෝ ඔහුගේ නියෝජිතයන් හෝ පින් තැන්න ප්ලාන්ටේෂන් (පුද්.) සමාගමේ නිලධාරින් හෝ එකී සමාගමේ නියෝජිතයන් විසින් ඉකුත් අගෝස්තු මස 16 වැනිදා අහසට වෙඩි තබා සාමය කඩවන ලෙස හැසිරි එහි සිටි ආරක්ෂක නිලධාරින්ට තර්ජනය කර ඔවුන් පන්නා දමා ඉඩමට
බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි කියමින් පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

නඩු නිමිත්තට අදාළ ඉඩම සහ නිවස ඇතුළු දේපළ එහි පෙර පදිංචිකරුවකු වන (මේ වන විට විදෙස්ගතව සිටින ) ජයේන්ද්‍ර වීරසේකර යන අය විසින් වසර දෙකක බදු පදනම මත තමාටත් තම බිරිඳ වන ක්‍රිස්ටා රොබිනා වැන්ඩර් ෂුට් යන අයටත් ඉකුත් 2021 අගෝස්තු මාසයේ දී මාසික කුලිය රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලකට ලබාදුන් බවත්,

අදාළ මාසික කුලිය තමන් විසින් ජයේනද්‍ර වීරසේකර යන අයගේ නමින් බැංකු ගත කරනු ලැබූ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.
නිවසේ තමන් වාසය කරමින් සිටිය දී අදාළ පරිශ්‍රයට යාබදව පිහිටා ඇති කොළඹ 05 ඉසිපතනාරාමයේ විහාරාධිපති හිමියන් සහ එහි භාරයේ භාරකරුවන් පිරිසක් පැමිණි තමන් වාසය කරන නිවස එම විහාරස්ථානයට අයත් එකක් බවත් නැවත නව බදු ගිවිසුමකට එළැඹීමට එකඟ නම් තවදුරටත් එහි පදිංචිව සිටීමට හැකියාවක් ඇති බවත් දැනුම් දුන් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

මෙම නිවස රුපියල් හත්දහසක මුදලකට ජයේන්ද්‍ර විජේසේකර යන අයට විහාරස්ථානය විසින් කුලියට ලබා දී ඇති බවත්, එම තැනැත්තා ඉකුත් 2018 වර්ෂයේ අගෝස්තු මාසය දක්වා එම මුදල විහාරස්ථාන භාරයට ලබා දී ඇති බවත්, එම පිරිස තමන්ට දැනුම් දුන් බැවින් තමන් වහාම ජයේන්ද්‍ර විජේසේකර යන අයට දුරකතනයෙන් කතා කර මේ බව දැන්වූ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් අධිකරණය දැනුවත් කර ඇත.

මෙම නිවසේ හිමිකරු බව ඡයෙන්ද්‍ර විජේසේකර වන තමන් බව දැනුම් දුන් බැවින් ගිවිසුමට අනුව ඔහුට මාසික කුලිය ලබාදුන් බවත්, පසුව ඉසිපතනාරාමයේ භාරකරුවන් තිදෙනකු ජයේන්ද්‍ර විජේසේකර, තමා සහ තම බිරිඳ වග උත්තර කරුවන් කරමින් කොළඹ දිසා අධිකරණයේ නෙරපීමේ නඩුවක් ගොනුකර මේ වන විට එම නඩුව පැවැත්වෙමින් පවතින බවත් පැමිණිල්ල සඳහන් කර ඇත.

අදාළ පරිශ්‍රයේ නිවසට අමතරව තම ව්‍යාපාරයේ කාර්යාලය ද පිහිටා තිබූ බැවින් එහි තිබූ ආරක්ෂක මෙවලම් සහ උපකරණ ආරක්ෂා කිරීම සඳහා තමන් විසින් ඉකුත් 2013 ජුනි මස 1 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි රක්නා ලංකා ආරක්ෂක (පුද්.) සමාගමේ ආරක්ෂක නිලධාරීන්ගේ සේවය ලබාගත් බවත්, තමන් සහ තම් පවුලේ උදවිය බිරිඳගේ මව්රට වන නෙදර්ලන්තය බලා මාසයක කාලයක් සඳහා පිටත් වූ බවත් පැමිණිල්ල අධිකරණයට දැනුම් දී ඇත.



තමා විදෙස්ගතව සිටින අවස්ථාවේ දී ඉන්දිකා වන්නිආරච්චි නම් අයකු වට්ස්අප් මාර්ගයෙන් තමන් අමතා වහාම අදාළ පරිශ්‍රයෙන් ඉවත් විය යුතු බවත් ඒ සඳහා රුපියල් මිලියන සියයක මුදලක් ලබාදීමට සුදානම් බවත් ඒ සඳහා නොයෙකුත් ආකෘති පත්‍ර සහ ලේඛන තමන් වෙත එවූ බවත් පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මේ අතර, තමන් අදාළ නිවස බදු පදනම මත ලබාගත් ජයෙන්ද්‍ර විජේසේකර යන අය ද තමන් අමතා අදාළ පරිශ්‍රයෙන් ඉවත්ව එහි සන්තකය ඉන්දිකා යන අයට බාරදෙන ලෙසට ප්‍රකාශ කර සිටියත්, අදාළ පරිශ්‍රය සම්බන්ධයෙන් දිසා අධිකරණයේ නඩුවක් පවතින බැවින් තමන් එය තරයේ ප්‍රතික්ෂේප කළ බවත් පැමිණිල්ල අධිකරණයට ප්‍රකාශ කර ඇත.

එසේම, අදාළ පරිශ්‍රය කුමාර ධර්මසේන යන අයකු විසින් මිල දී ගනු ලැබ ඇති බැවින් මින් ඉදිරියට එහි කටයුතු සඳහා කුමාර ධර්මසේන යන අය සමග සම්බන්ධ වන ලෙස ඉන්දිකා යන අය තමාට දැනුම් දුන් බවත්, ඇය ලබාදුන් දුරකතන අංකයකට අනුව තමන් කුමාර ධර්මසේන යන අයට කතා කළ අවස්ථාවේ දී ඔහු එම නිවස මිලට ගත් බවට තමන්ට දැනුම් දුන් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අතරතුර අදාළ පරිශ්‍රයට සැකකටයුතු පුද්ගලයන් විශාල පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී සිටි බවට කරුණු තහවුරු වීම හේතුවෙන් තම රියැදුරා වන නාදන් යන අය ඉකුත් 2023 අගෝස්තු මස 17 වන දින නාරාහේන් පිට පොලිසියට පැමිණිලි කළ බවත් පසුව පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට කුමාර ධර්මසේන යන අය තමාට තර්ජනාත්මකව ප්‍රකාශ කර සිටි බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

පසුව තමන් ඉකුත් 2023 අගෝස්තු මස 23 වැනිදා නැවත දිවයිනට පැමිණි පොලීසියට ප්‍රකාශයක් දුන් බවත්, තමා පැමිණ සෝදිසි කර බලද්දි නිවසේ තිබූ සියලු ගෘහ භාණ්ඩ, මුදලින් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, සුරතලයට ඇති කළ ලැබුඩෝර් වර්ගයේ බල්ලන් දෙදෙනකු, රුපියල් මිලියන පහක පමණ වටිනාකමකින් යුත් ට්‍රක් රථයකට සවිකළ හැකි ආහාර පාන සැපයිය හැකි ජංගම ට්‍රේලරයක්, භූමියේ සවිකර තිබූ සියලුම සී.සී.ටී. වී. පද්ධතිය සවිකර ඇති මුරකුටිය සහ එහි දේපළ කොල්ල කා ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.



මේ අතර පැමිණිල්ල ප්‍රකාරව නාරාහේන්පිට පොලීසිය අදාළ පරිශ්‍රයට බලෙන් ඇතුළු වූ කුමාර ධර්මසේන සහ හෝ ඔහුගේ නියෝජිතයන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් නැවත 2033 වර්ෂයේ සැප්තැම්බර් මස 19 වන දින නීත්‍යනුකූලවත්, සාමකාමීවත් තමා එම පරිශ්‍රයට නැවත පිවිසි බවත් ඒ අවස්ථාවේ දී නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි පැමිණි අතර එහිදී ගිනි අවි සහිතව සිටි කුමාර ධසේනගේ නියෝජිතයන් අදාළ භූමියෙන් ඉවත්ව ගිය බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

පසුව තමන් මේ සම්බන්ධයෙන් නාරාහේන් පිට පොලීසියට ප්‍රකාශයක් දීම සඳහා ඉකුත් 2023 සැප්තැම්බර් මස 20 දින නාරාහේන් පිට පොලිසිට ගිය අතර, කුමාර ධර්මසේන යන අය තමන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සමග සමථයකට එළැඹෙන ලෙසත් එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එහිදී අනෙක් පාර්ශ්වය හා සමථ නොවන්නේ නම් හා ඒ වන විට තමා සන්තකයේ තිබූ අදාළ පරිශ්‍රයේ යතුර පොලීසියට නොදෙන්නේ නම් තමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවන බව එහිදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාට තර්ජනය කළ බව ද පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව ඉකුත් 2013 සැප්තැම්බර් මස 20 වැනිදා නාරාහේන් පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අදාළ පරිශ්‍රයේ යතුර තමාගෙන් බලහත්කාරයෙන් ලබාගෙන සැප්තැම්බර් මස 27 වන දින කුමාර ධර්මසේන යන අයගේ පාර්ශ්වයට හෝ පින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමට අත්තනෝමතිකව හා නීතියට පටහැනි අයුරින් දී වංක සහයෝගයෙන් කටයුතු කර ඇති බව ද පැමිණිල්ල ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නඩුවේ වගඋත්තරකරුවන් 12 දෙනාට ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
පැමිණිලිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ඉන්දුතිස්ස, නීතිඥ රමිත දිසානායක, නීතිඥ මල්ක දේනෙත්ති යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

මෙදින නොතිසි නිකුත් වූයේ ගල්හෙන්න පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයෙහි පිහිටි පින්තැන්න ප්ලාන්ටේෂන් (පුද්.) සමාගමේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ කුමාර ධර්මසේන, එහි විධායක අධ්‍යක්ෂකවරුන් වන දුෂාන්ති ධර්මසේන, කවික ධර්මසේන, අධ්‍යක්ෂකවරුන් වන අශල්‍ය ධර්මසේන, අමන්‍යා ධර්මසේන, ගිණුම් කළමණාකරු උදාර මලින් කරුණාරත්න, එම සමාගම, හයිලෙවල් පාර, නුගේගොඩ ලිපිනයැති පින් තැන්න ඔයුඩ් ඔයිල් (පුද්.) සමාගමේ මනහර, එම සමාගමේ චමෝද්, එම සමාගමේ ප්‍රධාන කළමනාකරු කිත්සිරි, නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ එම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා යන අය වෙතය.

ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සඳහා මෙවලම් සහ උපාංග සපයනු ලබන 'ඇසෙන්ට් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන වර්ණ කුලසූරිය ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නමැති ව්‍යාපාරිකයා විසින් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මගින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ, 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතේ 66(1) (අ) වගන්තිය යටතේය.

නිමන්ති රණසිංහ