kusal-speaks

නායකත්වයේ තමන් මීට පෙරද කටයුතු කර තිබීම නිසා එය පීඩනයක් කරනොගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකත්වයට පත් වූ කුසල් මෙන්ඩිස් පැවසීය. ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගය වෙනුවෙන් ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවේදී කුසල් මේ බව පවසා සිටි අතර, මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා පිතිකරණ අංශය ඔස්ට්‍රේලියාවට වඩා පියවරක් හෝ ඉදිරියෙන් පසුවන බවයි.

කුසල් ශ්‍රී ලංකා කණ්ඩායමේ 26 වැනි එක්දින නායකයා ලෙස ඊයේ (15දා) පත් කරනු ලැබුවේ, හිටපු නායක දසුන් ශානක පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.  කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් මීට පෙර ලෝක කුසලාන පුහුණු තරගවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

ඒ එහිදීද දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙනි.

මෙහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වමින් කුසල් පැවසුවේ, බොහෝ ක්‍රීඩකයන් අයි. පී.එල්. ක්‍රීඩා කර තිබීම නිසා ඔවුන්ට ඉන්දියාවේ තණතිලි ගැන අත්දැකීම් ඇති බවයි. එමෙන්ම ලක්නව්හි පවතින වියළි කාලගුණයෙන් ශ්‍රී ලංකාවට යම් වාසියක් ඇති වුවද, ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට එය අසීරු වේදැයි කීමේ හැකියාවක් නොමැති බව පවසයි.



කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩයමේ පිතිකරණ අංශය ඔස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් පසුවන බවද කුසල් අවධාරණය කළේය. මෙහිදී තමන් නැවත සුපුරුදු රිද්මයට පැමිණීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.

"මම මෙහෙට එනකොට ඉක්මනින් ලකුණු අතරට එන්න සැලසුමක් තිබුණේ නෑ. නමුත් මෙහෙ තණනිලි පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය නිසා මට ඉක්මනින් ලකුණු අතරට එන්න පුළුවන් උනා. දිගටම මේ ක්‍රීඩා රටාව පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියන්න මට අමාරුයි. කොහෙම උනත් මම නායකයා ලෙසින් වැඩිපුර පීඩනයක් තියාගන්නේ නෑ” යැයි පැවසීය.