kuwate-husband-kurunegala-issue

කුවේට් රටේ රැකියාවක් කර මීට දින තුනකට ඉහතදී මෙරටට පැමිණ සිටි පුද්ගලයකු සිය ව්‍යාපාරික බිරිය නිවස තුළදී ඊයේ (2) උදේ 8ට පමණ පිහියකින් ඇන ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසයි.සැකකරුගේ අතක්ද කැපී යාම නිසා ඔහු ද තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.පිහි ඇනුම් පහර කා බරපතළ තුවාල ලැබ සිටි බිරිය රෝහලට රැගෙන පැමිණ ඇත්තේද සැකකරු විසින්ම යැයි පොලිසිය සඳහන් කරයි.



වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා කාන්තාව මියගොස් ඇති බව දැනුම් දී තිබේ.කුරුණෑගල ශික්ෂණ රෝහල් පොලිසියේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඒ.ඇස්. සී. බණ්ඩාර මහතාගේ දැනුම්දීම මත වැල්ලව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලව, මරලුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි අමාලි දිනුෂිකා නමැති 35 හැවිරිදි කාන්තාවකි.මෙම කාන්තාවට අවුරුදු නවයක සහ අවුරුදු පහක ගැහැනු දරුවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාව ඔන්ලයින් ක්‍රමයට බඩු බාහිරාදිය විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි තැනැත්තියකි.මෙම කාන්තාවගේ පපු ප්‍රදේශයේ පිහි ඇනුම් පහර තුනක පමණ සලකුණු ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ.

මෙම කාන්තාවගේ සැමියා මාස 10ක පමණ කාලයක් කුවේට් රටේ රැකියාව කර පසුගිය 29 වැනිදා මෙරටට පැමිණ ඇතැයි පොලිසිය පැවසීය. කුවේට් රටේ රැකියාවක නිරතව සිටින සැකකරුගේ නැන්දා කෙනකු ඔහු එරටට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති. කිසියම් හේතුවක් මුල් කරගෙන දෙදෙනා අතර ඊයේ උදෑසන කාලයේ ඇතිවූ බහින් බස්වීමකින් පසු මෙම පිහි ඇනුම සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කීය.අත්අඩංගුවට ගත් සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන නිසා තවම ඔහුගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය