lalith-kothalawala-death-suspitious

ප්‍රකට කෝටිපති ව්‍යාපාරික 85 හැවිරිදි දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණයට හේතුව සෙම නරක් වී නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදුවූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.



විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.ආර්.ඒ.එස්. රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් තිදෙනකු ඇතුළු කණ්ඩායමක් විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී ඊයේ (23) පවත්වනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.



දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග පොලීසියට කළ නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා සිදු කෙරිණි.

ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් පැවැති අතර එහිදී නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව ඒ මහතාගේ මරණය සෙම නරක්වීමෙන් ඇතිවූ නියුමෝනියා තත්වය මත සිදු වී ඇති බවට නිගමනය විය.



පසුව දේහය කොතලාවල මහතාගේ ළඟම ඥාතීන්ට භාර දීමට පොලිසිය පියවර ගෙන තිබේ.

බම්බලපිටිය පොලීසියේ සැරයන් විමලරත්න මහතා (8764) මෙහිදී පරීක්ෂණ මෙහෙයවීය.

-මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න