lalith-kothalawala-passed-away

සුප්‍රකට ව්‍යාපාරික සෙලින්කෝ නිර්මාතෘ දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත වූයේය.1938  ඔක්තෝබර් 29 උපන් ඔහු මියයන විට 84 වන වියෙහි පසුවූයේය.විශාල පිරිසකට රැකියා සපයන ව්‍යාපාර බිහිකළ ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ යුග පුරුෂයෙකු විය.
ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වෙයි.
‘දේශමාන්‍ය‘, ‘දේශබන්දු‘ , ‘ජීවක‘ යනාදී විවිධ තනතුරු සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.
ජස්ටින් කොතලාවල හා මිලිසන්ට් කොතලාවල යන දෙමාපියන්ට දාව 1938 උපන් ලලිත් කොතලාවල කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙකුවූ සර් ජෝන් කොතලාවල ඔහුගේ ළගම ඥාතියෙකි.
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු වරලත් ගණකාධිකරණය හැදෑරීමට එක්සත් රාජධානියට ගිය ලලිත්
නැවත මෙරටට පැමිණ 1960 ගණන්වල සිය පියාගේ Ceylinco Consolidated ව්‍යාපාර වලට එක් විය. එය දියුණු කළ ඔහු සෙලාන් බැංකුවද පිහිටුවීමට මුල් විය, බැංකු නොවන මූල්‍ය, ආයෝජන බැංකු, නිවාස හා දේපළ සංවර්ධනය, සංචාරක සහ විවේක, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ආදී ක්ෂෙත්‍ර රැසකට සිය ව්‍යාපාර ජාලය පුළුල් කළ ඔහු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා සලසන ව්‍යාපාර නිර්මාණය කළ ව්‍යවසායකයෙකි.
ලලිත් භූපේන්ද්‍ර කොතලාවල 2007 ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවේ අංක  එකට ලැයිස්තු ගත විය.

ඔහුට අයත්ව තිබූ  ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ රුපියල් බිලියන 26 ක මුදල් ආයෝජන අස්ථාන ගතවීම හේතුවෙන් විවිධ කරදරවලට මුහුණ දුන් අතර තැන්පතු හිමියන්ට යළි මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් නඩු ගණනාවකට මුහුණදීමට සිදුවිය. කාලයක් සිරගතවද සිටියේය.
මේ අතරවාරයේ ඔහුට අයත්ව තිබූ ව්‍යාපාර රාශියක් විවිධ අය විසින් සිය ග්‍රහණයට නතුකරගත් අතර ඔහුටත් ඔහුගේ බිරිය සිසිලි කොතලාවලටත් නඩු වලට මුහුණදෙන්නට සිදුවිය.