lebanon-premalatha

ලෙබනනයේ මහල් ගොඩනැගිල්ලක මහල් හතරක් කඩා වැටීම හේතුවෙන් තුවාල ලබා සිටි ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.මෙසේ මිය ගොස් ඇත්තේ, අයි. ප්‍රේමලතා නමැති, 68 හැවිරිදි කාන්තාවක වන අතර, ඇය මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක බව තානාපතිවරයා පැවැසීය.කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබී ප්‍රේමලතා මහත්මියගේ දේහය පෙරේදා (21 වැනිදා) අලුයම සොයාගත් බවත්, ඇයගේ මෘත දේහය බග්දා රෝහලේ තැන්පත් කර ඇති බවත්, තානාපති ජයවීර මහතා ප්‍රකාශ කළේය.



මෘත දේහය හඳුනා ගැනීම සඳහා මාර්ගගතව ඥාතීන් සම්බන්ධ කරගත් බවත්, අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ අවසන්  තීරණය ප්‍රේමලතා මහත්මියගේ ඥාතීන් ගනු ඇති බවත්, තානාපතිවරයා පැවැසුවේය. ප්‍රේමලතා මහත්මිය සමග ඇයට ලෙබනනයට පැමිණීමට අනුග්‍රාහකත්වය දැක්වූ කාන්තාව ද මිය ගොස් ඇති බවත්, එම කාන්තාව ප්‍රේමලතා මහත්මියට ඇයගේ නැගණියක ලෙස සලකා කටයුතු කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණු බවත්, තානාපතිවරයා පැවැසුවේය.

ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා නොව එම ගොඩනැගිල්ලට සිදු වූ ව්‍යුහාත්මක හානියක් නිසා බව ද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ගොඩනැලේලේ මහල් හතරක් මීට දින කිහිපයකට ඉහතදී කඩා වැටුණ අතර, පුද්ගලයෝ පස් දෙනෙක් ඊට යට වූහ. ඉන් දෙදෙනෙකු බේරා ගැනුණු අතර, එහි සිර වී සිටි ශ්‍රී ලාංකික කාන්තාව සොයා ගැනීමට නොහැකි විය. පසුව සුන්බුන් අතර සිර වී තිබූ ඇයගේ සිරුර දින හතරකට පසුව පෙරේදා පෙරේදා (21 වැනිදා) සොයා ගනු ලැබීය.

විමුක්ති එස්. රුද්‍රිගු