lewiston-maine-mass-shooting

පසුගිය බදාදා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් නගරය මරණ බයට පත් කළ නිදැල්ලේ සැරිසැරූ වෙඩික්කරු සියදිවිනසාගෙන සිටියදී හමුවූ බව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
 බදාදා සවස Schemengees නම් අවන්හලක සහ Sparetime Recreation විවේක විනෝද ස්ථාන දෙකක් තුළදී ඔහු වෙඩි තබමින් කළ ප්‍රහාරයෙන්  18 දෙනෙකු මියගොස් තිබුණි. තුවාල ලද පිරිස 60 ඉක්මවා තිබුණි.

 පොලිසිය තුවක්කුකරුවෙකු නිදැල්ලේ සිටින බවට අනතුරු අඟවා තිබූ අතර නගරයේ පදිංචිකරුවන්ට සැඟවීමට ස්ථාන නම් කර නවාතැන් ගන්නා ලෙස දන්වා තිබුණි. මේ හේතුවෙන් නගරය ලොක්ඩවුන් තත්වයට පත්විය. පාසල්ද වසා දැමුණි.
කෙසේ වෙතත් වෙඩික්කරු පසුව අතුරුදන්ව සිටි නිසා ඔහු නැවත පැමිණ අන්තරායකාරී දෙයක් සිදුකරාවි යන සැකයට ඔහු සොයායාමේ මෙහෙයුමක් පොලිසිය දියත් කළ අතර සැකකරුවෙකුගේ පින්තූර දෙකක් නිකුත් කර හඳුනා ගැනීමට මහජනතාවගේ සහාය ඉල්ලා සිටියේය.


පැය 48 කට පසු ඔහු සියදිවිනසාගෙන සිටියදී හමුවූ බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සිකුරාදා රාත්‍රී 7:45 ට මේන් ප්‍රාන්ත ලුවිස්ටන් ප්‍රදේශයේ ප්‍රතිචක්‍රීකරණ කම්හලක් අසල කුණු කසළ ගොඩේ ඔහු මිය ගොස් හමුවී ඇති බවත් වෙඩි තැබීමකින් තුවාල ලබා ඇති බවත් පොලිසිය තහවුරු කළේය. පොලිසිය නිශ්චිත ස්ථානයක් මාධ්‍ය වෙත ලබා දුන්නේ නැති නමුත් සැකකරු මීට පෙර මෙකී ප්‍රතිචක්‍රීකරණ කම්හලේ සේවය කළ බව පවසා ඇත.

පොලිසිය මෙම වෙඩික්කරු  40 හැවිරිදි රොබට් කාඩ් ලෙස හඳුනාගෙන තිබුණි. මානසික රෝගී ප්‍රතිකාර ගත්තකුවීමත් අවි පුහුණුව ලබා තිබූ අයෙකු වීමත් නිසා ඔහු "සන්නද්ධ හා භයානක" අයකු ලෙස සලකා නගරය ලොක් ඩවුන් කර තිබුණි.

පොලිස් වාර්තා අනුව මෙම පුද්ගලයා එක්සත් ජනපද හමුදා පුහුණුව ලද ගිනි අවි උපදේශකයෙකි. ඔහු 2023 ගිම්හානයේදී මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක කාලය ගත කළ බවත් පසුව කඳවුරට වෙඩි තබන බවට තර්ජනය කර නෙරපූවකු බවත් පැවසේ.

“ඔහු මරණයට පත්ව ඇති බව ආරංචියි . අපගේ ප්‍රජාවට දැන් සැනසුම් සුසුමක් හෙළිය හැකියි“ ලුවිස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව ඩේවිඩ් ශාන්ත පියරේ පැවසුවේය.

ඔහුගේ වෙඩි තැබීම් වලින් වයස අවුරුදු 14-76 අතර පරාසයක වින්දිතයන් 18 ක් මරණයට පත්විය.