mahara-prisnors-reveal

පාර්ලිමේන්තු සංකීර්ණය, උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ ජාතික රෝහල සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු දිවයිනේ ප්‍රධානතම මර්මස්ථානවලට යළි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ රඳවා සිටින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ජංගම දුරකතන ඔස්සේ බන්ධනාගාර සිර මැදිරි තුළ සාකච්ඡා කරමින් සිටින බවට

ඛන්ධනාගාර රැඳවියෙකු විවෘත අධිකරණය හමුවේ කළ ප්‍රකාශයෙහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් උසස් ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.



අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක් ඉකුත් සිකුරාදා (13) කැඳවූ අවස්ථාවේ එම නඩුවේ සැකකරුවකු වන එච්.පී. සුජිත් කුමාර නමැත්තා අධිකරණයේ අවසරය මත කළ විශේෂ ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමිනි. සැකකාර එච්.පී. සුජිත් කුමාරට එරෙහිව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව ඉකුත් 13 වැනිදා කැඳවූ අවස්ථාවේ අතක් ඔසවමින් ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තමාට එරෙහිව පවතින නඩුවට අදාළ නොවන ජාතික ආරක්ෂාවට බලපාන ඉතා වැදගත් විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අධිකරණයේ අවසරය දෙන ලෙසය.ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරුගේ එම ඉල්ලීමට අධිකරණයේ අවසරය ලබා දෙන බව දැනුම් දීමෙන් අනතුරුව සැකකාර එච්.පී. සුජිත් කුමාර විවෘත අධිකරණයේදී සිය ප්‍රකාශය කළේය.

එහිදී සැකකරුගේ ප්‍රකාශයට මඳක් සවන් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය අමතමින් ප්‍රකාශ කළේ සැකකරු කරන ප්‍රකාශයේ යම් සත්‍යතාවක් තිබුණහොත් එය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවයි.ඒ අනුව සැකකරුගේ ප්‍රකාශය දීම මඳ වේලාවකට කල් තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එම අවස්ථාවේම විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.නියෝගයට අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විවෘත අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ සැකකරුට සිය ප්‍රකාශය යළි මුල සිට දීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය සටහන් කර ගන්නා ලෙසට ලඝු ලේඛිකාවට නියෝග කළේය.ඒ අනුව සැකකරු සිය ප්‍රකාශය නැවත කරමින් අධිකරණය හමුවේ මෙසේද කීවේය.

‘ගරු ස්වාමීනි, මම රඳවා සිටින මහර බන්ධනාගාරය තුළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් විසි පහක් විතර රඳවා සිටිනවා. මම මුත්‍රා අමරුවකින් පෙළෙනවා. ඒ නිසා මම මහ රෑ නිතර නිතර වතුර බොනවා. මම රඳවා සිටින සිර මැදිරිය අසල ජල කරාමය වේලාසනින් වසා දමනවා. ඒ නිසා මම අසල ජල කරාමයට රාත්‍රී කාලයේ ජලය ලබා ගැනීමට යනවා.මහර බන්ධනාගාරයේ බොහෝ දෙනා දිනපතා රාත්‍රී 8.30 පමණ වන විට නිදා ගන්නවා. එහෙත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් මහ රෑ මෙන්ම අලුයම් කාලයේ නොනිදා විවිධ වර්ගයේ අධි තාක්ෂණික ජංගම දුරකතන වලින් කවුරුන් සමඟ හෝ කතා කරනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරිය අසලින් රාත්‍රී කාලයේ ගමන් ගන්නා මට ඔවුන් කතා කරන බොහෝ දේ ඇහෙනවා. එක් අවස්ථාවකදී ඔවුන් කියනවා ඇසුණා පාර්ලිමේන්තුවට, උපරිමාධිකරණ සංකීර්ණයට, කොළඔ ජාතික රෝහලට, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට දිවයිනේ ප්‍රධාන අධිකරණවලට, පෞද්ගලික රෝහල්වලට සහ දිවයිනේ වෙනත් වැදගත් ස්ථානවලට මෙන්ම රූපවාහිනී ආයතනයකට එල්ල කිරීමට සැලසුම් කර ඇති ප්‍රහාර ඉක්මන් කළ යුතුයි කියලා.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන් දෙමළෙන් කතා කරන සමහර වචන මට නොතේරෙන නිසා ඒ වචන වල තේරුම් මා සමඟ සිටි දෙමළ සිරකරුවකුගෙන් මම අහගත්තා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් අධිතාක්ෂණික ජංගම දුරකතනබන්ධනාගර සිරකුටි තුළ රිසි සේ භාවිත කරන්නේ බන්ධනාගාර අධිකාරිවරයාගේ සහ වෙනත් එහි උසස් නිලධාරීන්ගේ අනුදැනුම මතයි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් මහ රෑ ජංගම දුරකතන වලින් කතා කරන බවත් එම කතාබහේදී ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඔවුන් දුරකතන ඔස්සේ කතා කරන බවත් මම ජේලර්වරයකුට දැනුම් දුන්නා. එවිට ඒ ජේලර්වරයා මට කිව්වා උඹ දඟලන්න එපා, උඹට අවශ්‍ය නැති දේ කතා කරන්න එපා එහෙම කළොත් පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා උඹ මරනවා කියලා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන්ගේ ජංගම දුරකතන සංවාදවලට මම සවන් දෙනවා කියලා දැනගෙන දවසක් ඔවුන් මට උණු වතුරෙන් ඇඟට ගැහැව්වා. මෙම දුරකතන සංවාද ජූලි මාසයේ සිටම පවතිනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් සමඟ ඍජුවම සම්බන්ධතා පවත්වන අමාත්‍යාංශ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් ඉන්නවා. ඔවුන්ගේ නාම ලේඛනයක් මම ලියා ගෙන අධිකරණයට ගෙනැවිත් තිබෙනවා. එම ලේඛනය අධිකරණයට බාර දෙනවා. මම කරන මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෝ වෙනත් ඕනෑම විමර්ශන කණ්ඩායමක් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට මා සූදානම්'' යැයිද ඔහු කීවේය.



තමා සිය කැමැත්තෙන් අධිකරණයට දෙන මෙම ප්‍රකාශය අසත්‍ය නම් අධිකරණය මගින් දෙන ඕනෑම දඬුවමකට යටත් වීමට තමන් සූදානම් බව අධිකරණයට ප්‍රකාශ කළ සැකකාර එච්.පී. සුජිත් කුමාර තමා කරන මෙම හෙළිදරව්වත් සමඟ ඇතැම් විට මෙදිනට තමා වෙඩි තබා ඝාතනය කිරීමේ අවදානමක් පවතින්නේ යැයිද කීවේය. ඇතැම් විට තමා අවසන් වශයෙන් කතා කරන අවස්ථාව මෙය විය හැකි බවද ප්‍රකාශ කළ සැකකරු එම නිසා තමාට ආරක්ෂාව සලසන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. සැකකරුගේ මෙම විශේෂ ප්‍රකාශය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතමින්කියා සිටියේ සැකකරුගේ මෙම බරපතළ ප්‍රකාශයේ යම් සත්‍යතාවක් තිබුණහොත් එය ජාතික ආරක්ෂාවට මහත් තර්ජනයක් වන බවයි.

ඒ අනුව සැකකරු සිය කැමැත්තෙන් කළ මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳව නොපමාව සොයා බැලිය යුතු බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. එම ප්‍රකාශයේ යම් සත්‍යතාවක් ඇතොන් එය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවද යළි අවධාරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් ඉහළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර වහාම පුළුල් විමර්ශනයක් අරඹන ලෙසට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය. එම විමර්ශන සඳහා සැකකරු අධිකරණයට දුන් ප්‍රකාශයේ පිටපතක් සහ සැකකරු විසින් දෙන ලද පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සමඟ සමීප සබඳතා පවත්වන බව කියන අමාත්‍යංශ නිලධාරීන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ නාම ලේඛනයේ පිටපතක් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලබා දෙන ලෙසටත් සැකකරු දුන් ප්‍රකාශයේ මුල් පිටපත සහ නාමලේඛනයේ මුල් පිටපත අධිකරණ සේප්පුවේ සුරක්ෂිතව තබන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර් නිස්සංක ඉලංගසිංහ මහතාට නියෝග කළේය. සැකකරුගේ මෙම බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම විමර්ශන ඇරඹූ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය තුළ දීම විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා පැය දෙකකට අධික කාලයක් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

උපාලි ආනන්ද