malwatte-fake-thera-australian-jobs

ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගැමියන් දක්වන ගෞරවය භක්තිය හා විශ්වාසය අයුතුලෙස ප්‍රෙයා්ජනයට ගනිමින් මහානායක හිමිනමක ලෙස පෙනී සිට, පිටරට රැකියාවලට යවන බව පවසමින් දුරකථන ඇමතුම් දී රට පුරා මහා පරිමාණයෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන සැකකරුවකු ගැන නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම් බලා ධනවත් පුද්ගලයන්ගේ දුරකතන අංකවලට ඇමතුම් දී ‘මල්වත්තේ මහ නාහිමි‘ ලෙස පවසමින් ඕස්ට්‍රේලියා රැකියා සඳහා කිසිදු මුදලක් අය නොකර කඩිනමින් පිටත් කර යවන බවට පවසා ජනතාව රවටමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.

ඇතැම් අවස්ථාවලදී ඕස්ට්‍රේලියා මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිටිමින් දුරකතන ඇමැතුම් දී ඇතැයි ද විමර්ශනවලදී හෙළි වී ඇත. පුද්ගලයන් මෙසේ රැවටීම සඳහා සැකකරු සිම්පත් 100 ත් 120 ත් අතර ප්‍රමාණයක් මිලදී ගෙන සිටි බව ද පොලිසිය කියයි.

පිළිමතලාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අවුරුදු 51ක පමණ පුද්ගලයකු  මෙම වංචාවට හසුව ඇත. නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ අයකුගෙන් රුපියල් එක් ලක්ෂ තිස්හත්දහසක මුදලක් වංචාවෙන් ලබාගත් බවට ලද පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.



සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ දී ඔහු ළඟ තිබී දුරකතන 11ක් ද ටැබ් යන්ත්‍රයක් ද අන්තර්ජාල සැපයුම් උපකරණ ද බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට් පත් විශාල ප්‍රමාණයක් ද විවිධ නම්වලින් සැකසුණු නිල මුද්‍රා තොගයක් ද දුරකතන අංක ලියා ගැනීමට භාවිත කළ පොත් කිහිපයක් ද විවිධ පුද්ගලයන්ගේ නම්වලට සැකැසූ විසිටින් කාඩ් පත් විශාල ප්‍රමාණයක් ද සොයාගෙන ඇත. මේ පුද්ගලයා ව්‍යාජ ලෙස සැකැසූ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් බහු විවාහයන් කිහිපයක් ද සිදු කරගෙන සිටි බවත් කියති.වංචනික ලෙස උපයන මුදලින් කාන්තාවන් සමඟ සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වී ඇත.සැකකාර පුද්ගලයා නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

 ආර්.එෆ්.එම්. සුහෙල්