matara-browns-hill

මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට පෙරේදා (07) දහවල් ඇතුළුවී එහි සේවිකාවන් දෙදෙනාට පොල්ලකින් පහරදී, ගෙල මිරිකා ඝාතනය කර නිවසේ තිබූ කෘත්‍රිම ආභරණ සහ විදේශීය කාසි 12ක් සොරකම් කර ගෙන ගිය බව කියන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.ඝාතනයට ලක්ව ඇත්තේ පාලටුව, මාලිම්බඩ, අගලවත්තේ පදිංචිව සිටි කොටවිල විතාරණගේ නිමලාවතී හා වල්ගම මාතොටගම පදිංචිව සිටි හේවා පින්නදුවගේ විමලාවතී (70) නමැති කාන්තාවන් දෙදෙනෙකි.ඔවුන් එම නිවසේ නාන කාමරයක හා වැසිකිළියක මරා දමා ඇති අයුරු ගෙහිමි ව්‍යාපාරික කාන්තාව දැක පොලීසියට දැනුම් දී ඇත.



ඒ අනුව, පරීක්‍ෂණ ආරම්භ කළ මාතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් ඒ අසල නිවසක සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කර ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.මාතර මහ නගර සභාවේ තාවකාලික කම්කරුවකු ලෙසද සේවය කර ඇති 25 හැවිරිදි සැකකරු මීට මාසයකට පමණ පෙර ව්‍යාපාරික නිවසේ ගස් කැපීමට පැමිණ ඇති අයකු බව මූලික පොලිස් පරීක්‍ෂණවල දී අනාවරණය වී තිබේ.ඒ අනුව ව්‍යාපාරික කාන්තාව මාතර නගරයේ පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරික ආයතනයට පැමිණ සිටියදී සැකකරු එම නිවසට ඇතුළුවී ඇති බව කියති.එහිදී සේවිකාවක මීට පෙර ගස් කැපීමට පැමිණි පුද්ගලයා බවට සැකකරු හඳුනාගෙන ඇති අතර, එම අවස්ථාවේ ඔහු ඇයගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය කියයි.



ඇයගේ කෑ ගැසීම ඇසී අනෙක් සේවිකාව ද එතැනට පැමිණ ඇති අතර, සැකකරු ඇයගේ ගෙල මිරිකා ඝාතනය කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.ඉන් අනතුරුව සැකකරු නිවස තුළ පැය තුනක පමණ කාලයක් රැඳී සිටිමින් මුදල් හා රන් ආභරණ සෙවීමට පටන්ගෙන ඇති බව කියති.පසුව ඔහු රන් ආභරණ යයි සිතා කෘත්‍රිම (ඉමිටේෂන්) ආභරණ ද රට කාසි 12 ක් ද නිවසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ ඩී.වී. ආර්. යන්ත්‍රයද ගලවා සොරාගෙන ගොස් ඇත. සවස 6.00ට පමණ ව්‍යාපාරික කාන්තාව නිවසට පැමිණි විට මෙම අපරාධය දැක තිබිණි.

ඇයගේ සැමියා මීට වසර කිහිපයකට පෙර මියගොස් තිබූ අතර, වසර 15ක පමණ කාලයක් තිස්සේ නිවසේ වැඩට සිටි සේවිකාවන් දෙදෙනා සමග ඇය එම නිවසේ වාසයකර තිබේ.ඝාතනයට ලක්වූ සේවිකාවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය මාතර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මාතර තුඩාවේ පදිංචි 25 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.