medical-student-tear-gas

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් ඊයේ (27) පස්වරුවේ කොළඹ 07 ග්‍රීන්පාන් හිදී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසිරුවා හැරියේය.
මෙහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු සහ තවත් සිසුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කිරීමට එරෙහිව, සබරගමුව, මොරටුව හා වයඹ යන වෛද්‍ය පීඨවල ගැටලුවලට විසඳුම් ඉල්ලා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව සංවිධනය කර තිබුණි.
මෙම විරෝධතා පාගමනට දිවයිනේ වෛද්‍යපීඨ රැසක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යවෝ රැසක් සහභාගි වී සිටියහ.


මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය බලා යාමට පෙර සූදානම් කර තිබුණ ද, පසුව එය යුන්පාත් සිට පුරහලට පෙළපාළියෙන් ගොස් පුරහලදී විරෝධතාව පැවැත්වීට සුදානම් කර තිබුණි.
මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ හා
තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තරකර තිබූ අතර, යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා කැරලි මර්දන කණ්ඩායම් ඒ අතර විය.අධි පීඩන ජල ප්‍රහාර රථ ද එම ස්ථානයට කැඳවා තිබුණි.
සිසුහු පිරිස ග්‍රීන්පාත් මාර්ගයට පැමිණ එක්රැස් වී එහි සිට විරෝධතා පුවරු අතැතිව හා සටන් පාඨ කියමින් පෙළපාළියෙන් ගමින් ආරම්භ කිරීමට සූදානම් වූහ.
එහිදී පොලිස් නිලධාරීහු ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන, මෙම පෙළපාළිය සඳහා අවසර ගෙන නොමැති බව කියමින් පෙළපාළියට ඉදිරියට ගමන් කිරීමට අවසර නොදෙන බවත්, දැනුම් දුන්හ.
නීති විරෝධී පෙළපාළිය විසුරුවා හැරීමට සිදුවන බවත්. එම නිසා විසිර යන ලෙසත් පොලිසිය සිසුන්ට දන්වා සිටියේය.
මෙහෙදී සිසුහු හා පොලිස් නිලධාරීහු අතර උණුසුම් තත්ත්වයක් හට ගත්හ.


පොලිසියේ දැනුම් දීම පිළිනොගත් සිසුන් සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු රැගෙන පෙළපොළිය ආරම්භ කිරීමත් සමග පොලිසිය එයට බාධා කරමින් ඔවුන් වෙත ජල ප්‍රහාර එල්ල කළේය.
ජල ප්‍රහාර හමුවේ සිසුන් විසිර නොයා එක පොදියට රැඳී සිටීම හේතුවෙන්, පොලිසිය ඔවුන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළේය.
කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් පොලිසිය සිසුන් පසුපස හඹා ගිය අතර, එහිදී සිසුහු විහාර මහ දේවී උද්‍යානය වෙත දිව ගියහ.
පොලිස් නිලධාරීහු අවස්ථා කිහිපයකදීම සිසුන් පසුපස හඹා ගියහ.
(සටහන -ඉන්දිකා රාමනායක)