meegoda-businessman-nabbed

හෝමාගම ගොඩගම මංසන්ධිය ආසන්නයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයකින් එහි තිබූ රුපියල් දොළොස් දහසක් පමණ වටිනා ලිහිසි තෙල් කෑනයක් සොරා ගැනීමට සම්බන්ධ වූ බවට සැකපිට එම සේවා මධ්‍යස්ථානය ආසන්නයේම පිහිටි සුපිරි වෙළෙඳසල් ජාලයක හිමිකරුවකු වන, කෝටිපති ව්‍යාපාරිකයකු ඉකුත් (2 වැනිදා) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි. අදාළ වාහන සේවා මධ්‍යස්ථානයේ හිමිකරු විසින් වීඩියෝ සාක්ෂි සහිතව සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම ව්‍යාපාරිකයා සහ එම ලිහිසි තෙල් ප්‍රවාහනයට යොදාගත් බව කියන අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් බාරයට ගැනීමට කටයුතු කළ බව ද පොලීසිය පවසයි.



මෙම ලිහිසි තෙල් සොරකම සඳහා සහයෝගය ලබාදුන් බව කියන එම වාහන සේවා මධ්‍යස්ථානයේ රැකියාව කළ තවත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලීසිය පවසයි. සැකකාර ව්‍යාපාරිකයා අදාළ සේවා මධ්‍යස්ථානයේ රැකියාවේ නිරතව සිටි, වාහන සේවා සිදු කරනු ලබන සේවකයකු මාර්ගයෙන් මෙලෙස වරින් වර ලිහිසි තෙල් අඩංගු කෑන් තුනක් රැගෙන ගොස් ඇති බවට වාහන සේවා මධ්‍යස්ථානයේ හිමිකරු විසින් මීගොඩ පොලීසියට සිදු කළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇති බව මීගොඩ පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.



සැකකාර ව්‍යාපාරිකයා තම සුඛෝපභෝගී මෝටර් රථයෙන් අදාළ සේවා මධ්‍යස්ථානය වෙත පැමිණ, එහි සිටි සේවකයාගේ මාර්ගයෙන් ලිහිසි තෙල් කෑන් පටවාගෙන යන ආකාරය එම සේවා මධ්‍යස්ථානයේම රැකියාවේ නිරතව සිටි තවත් සේවකයකු විසින් තම ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර, එහි හිමිකරු වෙත ලබා දී ඇති බවත්, එම රථයෙන්ම මෙයට පෙර ද අදාළ ව්‍යාපාරිකයා විසින් මේ ආකාරයෙන්ම කිහිප වරක් ලිහිසි තෙල් සොරා ගෙන, රැගෙන ගිය බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සුපිරි වෙළෙඳසල් ජාලයක හිමිකරුවකු වන, මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි, 47 හැවිරිදි, කෝටිපති ව්‍යාපාරිකයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු සහ මෝටර් රථය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

 කේ. බුද්ධික කුමාරසිරි