minuwangoda-arrest-5

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැලසුම් කරමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කාර්යාලය අද සවස දන්වා සිටියේය.

අද (22 ) දහවල් කාලයේ මිනුවන්ගොඩ පොලිස් වසමේ හොරම්පැල්ල ප්‍රදේශයේදී  ලද තොරතුරක් මත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වැටලීමක් සිදුකර ඇත.



මෙකී සැකකරු පදිංචි නිවසේ රැදී නොසිටි බැවින් නිලධාරීන් මාර්ගයේ සැඟවී සිටියදී සැකසහිත කාර් රථයක් සමඟ පැමිණි යතුරුපැදි දෙකක් නවතා පරීක්ෂා කිරීමක් සිදුකර ඇත. කාර් රථය පරීක්ෂා කිරීමේදී රියදුරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 500 ක්ද විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සහ තියුණු ආයුධ (කඩු) දෙකක්ද සොයා ගෙන ඇත.

විමර්ශන නිලධාරීන් විසින් කාර් රථයේ රියදුරු සහ යතුරු පැදි දෙකේ පැමිණි පුද්ගලයින් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර සිදුකරන ලද මූලික විමර්ශනයේදී ඔවුන් ඩුබායි රාජ්‍යයේ රැදී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත්,

ඒ සඳහා තවත් පුද්ගලයෙකු සම්බන්ධ කරගැනීම සඳහා මෙලෙස පැමිණ ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 23, 25, 39 හා 56 වයස් වල පසුවන කටුවැල්ලේගම, මිනුවන්ගොඩ, කිඹුලාපිටිය හා හොරම්පැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.