mulathiw-wife-murder-husband

මුලතිව්, වාප්පිට්ටි ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක අතර ඇතිවූ ආරවුලකින් පසු සැමියා බිරිය මරා හංගා පලාගොස් සිටියදී කොළඹදී අත්අඩංගුවට පත්වූ සිදුවීමක් ඊයේ වාර්තා විය. මෙසේ අත්අඩංගුවට පත්වූ 23 හැවිරිදි සැමියා මෙම ඝාතනය සම්බන්ධ තොරතුරු පොලිසියට හෙළිකර තිබේ.
මියගිය කාන්තාව අතුරුදන්ව සිටින බවට එම කාන්තාවගේ මව විසින් මුල්ලියාවෙල පොලිස් ස්ථානයට 23 වනදා පැමිණිල්ලක් ගොනු කරනු ලැබ තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුදන් දැරියගේ මව මෙසේ පැවසුවාය.
‘මගේ දියණිය මීට වසර තුනකට පෙර විවාහ වුණා. මුල්ලියාවෙල ප්‍රදේශයේ පදිංචි  තරුණයෙකු සමග පෙම් සබඳතාවකින් තමා විවාහ වුනේ. දුවට එතකොට 19 යි. දෙදෙනාම මුල්ලියාවෙල වාප්පිට්ටි ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පසුගිය මාසයේ එහි පදිංචිව සිටියා. දෙන්න අතර බැණගැනීම් කරදර තිබුනා.ඒත් මා එක්ක හැමදේම කිව්වා.
හැමදාම වගේ මා සමඟ දුරකථනයෙන් කතා කරනවා, පසුගිය සෙනසුරාදා (21) සිට දියණියගේ දුරකථනය ක්‍රියා විරහිත කරතිබුණා, පසුව දියණිය සහ බෑනා පදිංචි නිවසට යන විට කිසිවකු හිටියෙත් නැහැ.බෑනාගෙත් දුරකථන වැඩ කරේ නැහැ.වටපිට බලද්දි නැවතී සිටි නිවස පිටුපස, අලුතින් ගොඩ කරන ලද වළක් දැක්කා. මට සැකයක් ඇති වුණා.

මේ ගැන  මුල්ලියාවෙල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළා“ ඇය පැවසුවාය.

අතුරුදන් වූ කාන්තාව ඝාතනය කරැයි සැක ඇති බවට ලැබුණු පැමිණිල්ල හේතුවෙන් මුල්ලියාවෙල පොලිස් ස්ථාන භාර නිලධාරී කේ.එච්.සංකීත් මහතා ඇතුළු කණ්ඩායම පරීක්ෂණ කඩිනම් කර සෝදිසි මෙහෙයුම් සිදු කළේය.

පුදුකුඩිරිප්පු 10 දිස්ත්‍රික්කයේ පදිංචි 23 හැවිරිදි ඩී.ගීතා නමැති කාන්තාවක් මෙලෙස ඝාතනය කර වළදමා ඇති බව පසුව සොයාගන්නා ලදි.
කුලියට ගත් නිවසේ  ආසන්නයේ අඩි පහක් පමණ ගැඹුරට වළ දමා තිබූ කාන්තාවගේ සිරුර හමුවී ඇත.
මුලතිව් දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ඩී.ප්‍රදීපන්, නීති නිලධාරී කේ.වාසුදේව, පොලිසිය, ග්‍රාම සේවා නිලධාරී සහ විශේෂ කාර්ය බළකාය විසින් සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත.
අදාළ කාන්තාවගේ සිරුර ගොඩගෙන දිසා රෝහලට රැගෙන ගොස් තිබුණි.

ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹදී අත්අඩංගුවට ගත් 23 හැවිරිදි ‘බකීර්‘ නමැති සැමියා ප්‍රකාශයක් ලබාදී තිබෙයි.
සැමියා ලබාදුන් ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
‘ බැඳලා අවුරුදු 3 යි.. තුනම හිටියේ අසතුටින්..කරච්චලේ ඉවරයක් නැහැ...හැමදාම අපි දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. සිද්ධිය වුණු දවසේත් අපි දෙන්නා රණ්ඩු වුණා. ඊට පස්සේ මම මගේ බිරිඳගේ බෙල්ලට පහරත් දුන්නා එවිට ඇය බිම වැටුණා, බොහෝ වේලාවක් නැගිට්ටේ නැහැ.
මෙයින් පසු, ඇයව අල්ලල බැලුවාම හුස්ම වැටෙන් නැහැ. මියගිය බව සිතී බයක් ඇතිවුනා.. කුමක් කළ යුතු දැයි සිතාගන්න බැරිව ගියා. නිවස පිටුපස වැසිකිළි වළක් තනමින් තිබුනා. ඒකට දමා වසා දැමූවා.“

කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දිස්ත්‍රික් රෝහල වෙත යවා ඇති අතර කාන්තාවගේ සැමියා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී. ඔහු කාන්තාව ඝාතනය කිරීම මෙන්ම නීති විරෝධී ලෙස වළදැමීම යන චෝදනා දෙකටම හසුවන බව පොලිසිය සඳහන් කර තිබේ.