කොළඹ ජාතික රෝහලේ හෙදියන් 370 දෙනකු මේ වනවිට රටහැර දමා ගොස් ඇති බවත් ඉදිරි වසර තුළ දී තවත් 400ත් 500ත් අතර පිරිසක් රට හැර යාමට ඉඩ ඇති බවත් එම රෝහලේ ප්රකාශකයෙන් පැවැසීය. රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සියයට 12කින් පමණ අඩු වී ඇති බවත් ජාතික රෝහලේ මේ වනවිට සේවය කරන්නේ 2400ක පමණ කාර්ය මණ්ඩලයක් බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. ජාතික රෝහලේ හෙද හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් විවිධ ඒකක අසීරුතාවට ලක්වී ඇති බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.
දැඩි සත්කාර ඒකකයේ එක් ඇඳකට එක් හෙද නිලධාරිනියක සිටිය යුතු බව සාමාන්‍ය නිනායකය වුවත් මේ වනවිට ඇඳන් දෙකකට එක් හෙද නිලධාරිනියක සිටින තත්ත්වයට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය පත් වෙමින් යන බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. උපස්ථායක තනතුරේ පුරප්පාඩු පසුගිය වසර කිහිපය තුළ පුරවා නොතිබීම හේතුවෙන් ජාතික රෝහලේ අසීරුතා තවත් උග්‍ර වී ඇතැයි ඔහු පැවසුවේය. සෞඛ්‍ය කාර්ය සහායක තනතුර දරන්නන් ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරි පවා පැහැර හරින තත්ත්වය තුළ තත්ත්වය තවත් බරපතළ වී ඇතැයි ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දන්වා ඇතත් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද ප්‍රකාශකයා පැවසුවේය. එම සේවකයන් ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක පිරිසුදු කිරීම පැහැර හරින තත්ත්වයක් රෝහල තුළ උද්ගත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගතහොත් තත්වය තවත් භයානක වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යාංශයට කෙතරම් පැමිණිලි කළත් ක්‍රියාමාර්ගයක් කිසිදු විනය නොගැනීම විශාල ප්‍රශ්නයක් බව ද එම ප්‍රකාශකයා පැවැසුවේය.
විමුක්ති එස්. රුද්‍රිගු
0 Comments