nazir-ahamed-parliament-reject

හිටපු පරිසර අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි  පාර්ලිමේන්තු  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (9) දැනුම් දුන්නාය.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා  තීන්දු කළේය.ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ මේඅනුවය.



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා  ප්‍රකාශ කළේ 2022 අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට පටහැනිව රජයට පක්ෂපාතී වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
අහමඩ් 2021 දෙසැම්බර් 10 වැනි දින අයවැය තෙවැනි වර කියවීමේදී අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. SC විනිසුරුවන් වන පී. පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා, ජනාධිපති නීතිඥ සහ මහින්ද සම්යවර්ධන අහමඩ් නෙරපා හැරීමේ SLMC තීරණය ඒකමතිකව අනුමත කළහ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන එච්.එම්.එම් හරීස් (දිගාමඩුල්ල),

ෆයිසාල් කාසිම් (දිගාමඩුල්ල) 2022 අයවැයට අහමඩ් මන්ත්‍රීවරයා සමඟ ඡන්දය ප්‍රකාශ කළ නමුත් දෙදෙනාම පසුව සමාව අයැද පක්ෂය ගන්නා තීරණවලට පටහැනිව ක්‍රියා නොකරන බවට සහතික වූ බැවින්  ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර තිබුනේ නැත.

මේ අනුව  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  මඩකළපුව  දිස්ත්‍රික් ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා මැතිවරණ කොමිෂන්  සභාව විසින් එම පුරප්පාඩුවට පත් කරනු ලැබීමට නියමිතය.

නසීර් අහමඩ්ගෙන් පසු එම ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන  අලි සහීර් මවුලානාය.

නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කරනු ලැබීමට නියමිතය.