පාදුක්ක වටරැක නැගෙනහිර හොරගල විහාරස්ථානයක් ආසන්නයේ නිදහසේ සිටි, එක් ඇහැක් නොපෙනෙන පොර කුකුළකු හිමිකරුට සොරෙන් අල්ලාගෙන රැගෙන ගොස්, මස් කර, කෑමට ගත් බව කියන තරුණයන් සිව් දෙනකු ඉකුත් 5 වැනිදා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි. මෙලෙස මරා, කෑ පොර කුකුළා උසස් වර්ගයේ ඉහළ වටිනාකමක් සහිත සත්වයකු බවත්, එම වර්ගයේ තවත් සතුන් බෝ කිරීමේ අදහසින් එම පොර කුකුළා රැගෙනවිත්,

ආබාධ සහිත බැවින් නිදහසේ සිටීමට ඉඩ හැර තිබූ බවත්, දින කිහිපයක සිට සත්වයා දක්නට නොසිටි බැවින් සොයා බැලීමේදී, සොරා ගෙන ගොස් ඇති බවට ලද තොරතුර මත පොලීසියට පැමිණිලි කළ බවත් අදාළ පැමිණිල්ලේ සටහන්ව ඇත.

එම කුකුළා සැරිසරන ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී තරුණයින් සිව් දෙනකු විසින් පොහොර බෑගයක් වැනි බෑගයක් ගෙනැවිත්, එම කකුළා වට කර අල්ලා, රැගෙන යන ආකාරය දක්නට ලැබූ බැවින්, එම දර්ශන ද ලබා දී ඇතැයි පොලීසිය කීය. පොලීසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී, තම යතුරුපැදියක සත්වයා ගැටුණු බැවින්, ප්‍රතිකාර සඳහා එම පොර කුකුළා අල්ලාගෙන පැමිණි බව පැවැසුව ද, වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම සත්වයා ඝාතනය කර, පිසූ මස් ලෙස සකසා තමන් සිව් දෙනා ආහාරයට ගත් බව සැකකරුවන් විසින් පාපොච්චාරණ කළ බව ද මීගොඩ පොලීසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.



මීගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කීය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, වටරැක නැගෙනහිර හොරගල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 35ත් 40ත් අතර තරුණයන් දෙදෙනකු සහ පාදුක්ක කුරුගල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 30ත් 32 ත් අතර වන තරුණයන් දෙදෙනෙකි.

 කේ. බුද්ධික කුමාරසිරි