
ඖෂධ මිලදී ගැනීමට පාදුක්ක නගරයට පැමිණි වයෝවෘද්ධ කාන්තාවක මාර්ගය අසලම පිහිටි වෙළෙඳසලකට ඇතුළු වීමට යාමේදී වර්ෂාව නිසා ලිස්සා, මාර්ගය දෙසට ඇද වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකට යට වී පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ,පාදුක්ක අංගමුව සමගිපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන, කේ.පී. කරලයින් නෝනා නමැති, 83 හැවිරිදි කාන්තාවකි. මියගිය කාන්තාව තම ස්වාමිපුරුෂයා සමගින් ඖෂධ මිලදී ගැනීමට පාදුක්ක නගරයට පැමිණ නිවෙස බලා යාමට පැමිණෙමින් සිටියදී ආප්ප මිලදීගැනීමට අසල වෙළෙඳසලක් වෙත යාමේදී මෙලෙස ලිස්සා ඇද වැටී, මෝටර් රථයේ ගැටීමෙන් එහි වම් රෝදයට යට වී මිය ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.
මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පාදුක්ක හදිසි මරණ පරීක්ෂක, වෛද්‍ය නන්දසේන පන්නිපිටිය මහතා විසින් සිදු කිරීමට නියමිතය. අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු පාදුක්ක පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. පාදුක්ක පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක පීරිස් මහතා පරීක්ෂණ පැවැත්වීය.
කේ. බුද්ධික කුමාරසිරි
Comments
Post a Comment
Your comment will be visible after approval