රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් නුදුන්නැයි කඩවත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කරන්නට උත්සාහ දැරූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු විදේශයේ නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ හතරක් සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන කැලණියේ “ශක්ති” නමැත්තකු දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම සැකකරුවන් දෙදෙනා මෙම ඝාතනය කිරීමට යතුරුපැදියකින් යමින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් කඩවත නගරයේ රාගමට හැරෙන හන්දියේ පෙරේදා (17) සවස රාජකාරියේ නිරතව සිටියදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු සැකපිට නවතා පරික්ෂා කර ඇති අතර එහිදී ඔවුන් ළඟ තිබූ ගිනි අවි ද සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. සැකකරුවන් පරික්ෂා කිරීමේදී යතුරුපැදිකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද එහි ගමන් ගත් අනෙක් සැකකරු ළඟ තිබී රිවෝල්වරයක් හා ජීව උණ්ඩ 4 ක් ද සොයාගත් බව පොලිසිය කියයි.
සිද්ධිය වූයේ සම්බාහන මධ්‍යස්ථානයකට මීටර් 300 ක් පමණ දුරින් බවත්, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ අහඹු ලස බවත් පොලිසිය පවසයි.ඔවුන් අත්අඩංගුවට ගැනීමට විනාඩි 5 ක් ප්‍රමාද වුයේ නම් ඔවුන් සම්බාහන මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමට ඉඩ තිබූ බව ද පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා කැලණිය හා මීගහවත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 29-24 යන වයස්වල පසුවන්නන් බවත් ඔවුන් මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහිව සිටින්නන් බවත් පොලිසිය කියයි.
ඩුබායි වෙසෙන ශක්ති නමැත්තා සම්බාහන මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයාගෙන් මීට සති දෙක තුනකට පෙර රුපියල් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලා ඇති බවත්, ව්‍යාපාරිකයා එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.එම පැමිණිල්ලට උරණ වූ ශක්ති නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඔහුගේ ගෝලයන් ලවා ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව දී ඇතැයි පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා සම්බාහන මධ්‍යස්ථානයේ නොසිටින්නේ නම් ඔහු වෙනුවට එහි කළමනාකරු හෝ හෝ ඝාතනය කරන ලෙසට ඩුබායිහි සිටින සැකකරු උපදෙස් දී ඇති බවද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ගෙන රැඳවුම් රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින ගනේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයකු බව කියන ශක්ති නමැත්තා ඔහුගේ වෙඩි තැබීම් රැසක පැදිකරු වශයෙන් කටයුතු කර ඇති බවද පොලිසිය සදහන් කරයි. පොලිසිය ශක්ති නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අතරේ ගණේමුල්ලේ සංජීව නැමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ඩුබායි රාජ්‍යට ගෙන්වාගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
ඉන්දිකා රාමනායක
0 Comments