peradeniya-university-protest

වත්මන් රජයට එරෙහිව නැගෙන මහජන විරෝධතා ඉතාමත් අමානුෂික ලෙස මර්දනය කිරීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා පැවසීය.

සමාජ මාධ්‍ය වාරණ පනතට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් ක්‍රියාත්මක කළ විරෝධතාවට පොලීසිය එල්ල කළ අමානුෂික ප්‍රහාරය හේතුවෙන් සිසුන් 13දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද හෙතෙම ප්‍රකාශ කළේය.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මධුෂාන් චන්ද්‍රජිත් මහතා ,



"ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අවස්ථාවේදී පොලීසිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිඛිත පණිවිඩයක් යවා තිබුණා, එම විරෝධතාව පැවැත්වෙන ආසන්නයේ ඇති රෝහල්වලට හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටින ලෙස, ඒ තුළින් පෙනීයන්නේ, මේ රජයට එරෙහිව මොනම ආකාරයකින් හෝ විරෝධතාවක් පවත්වන පුද්ගලයන්ට අමානුෂික ලෙස පහරදී ඒවා මර්දනය කිරීමට පොලීසියට නියෝග ලැබී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව අනුව රට අභ්‍යන්තරයේ සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව නැගෙන මහජන විරෝධතා මර්දනය කිරීම සඳහා අතිශය මර්දනීය අණ පනත් ගෙන එමින් සිටිනවා.

ත්‍රස්ත විරෝධී පනත සඳහා ගොඩනැගුණු ජනතා විරෝධය හමුවේ එය හකුළා ගන්නවා යැයි ආණ්ඩුව පැවසුවත් පසුගිය මාසයේදී එහි කිසිදු සංශෝධනයක් නොමැතිව නැවතත් එම පනත ගෙනවිත් තිබෙනවා.

රජයේ එතැනින් ඔබ්බට ගොස් මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට යැයි පවසමින් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වළක්වන පනතක් ගෙන එමින් සිටිනවා.

මේ පනත ක්‍රියාත්මක වුවහොත් රටේ ජනතාවට මහ පාරේ හෝ ප්‍රධාන මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යයේ ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය හකුළා දැමීමයි සිදුවන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රජයට යෝජනා කර සිටින්නේ, රජයේ වියදම් කපා හැරීමත් සුබසාධන වියදම් කපා හැරීමත් ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් වැඩි කිරීමත් යන යෝජනායි.

පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය සහ සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය වෙමින් පවතින්නේ එම නිසයි.මෙම තත්වය හමුවේ රජය අතිශය පීඩාකාරී ගමනක යෙදෙමින් සිටිනවා"  යැයි පවසා සිටියේය.
-    ෂේන් සෙනෙවිරත්න