polgahawela-incident

පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හන්දියේ දී පෙරේදා (9) රාත්‍රී වේගයෙන් පැමිණි වැලි ටිපර් රථයක් මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයකු ද යට කරගෙන ධාවනය වී ඇති අතර, බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා මියගොස් ඇතැයි පොල්ගහවෙල පොලිසිය පවසයි.  මාර්ගය අයිනේ සිටි කොස්තාපල්වරයා වැලි ටිපර් රථයේ ගැටීමෙන් ඉවතට විසි වී, ඒ අසල නවතා තිබූ කැබ් රථයක ද ගැටීමෙන් මෙලෙස බරපතළ තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කරයි.අනතුරින් මිය ගොස් ඇත්තේ පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ (95236) ඉලංගරත්න නමැති හතළිස්පස් හැවිරිදි කොස්තාපල්වරයකු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොල්ගහවෙල ගිරාඹේ පදිංචිකරුවකු වූ ඔහු තිදරු පියෙකි. මෙම කොස්තාපල්වරයා තවත් තිදෙනකු සමග පෙරේදා රාත්‍රී පොලිස් කැබ් රථයකින් රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අතරතුර රාත්‍රී 11.00 ට පමණ මාර්ගයේ වාහන හා පුද්ගලයන් පරීක්ෂා කරමින් සිට ඇත. කන්තලේ සිට කඩුවෙල දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථය මාර්ග අයිනේ සිටි කොස්තාපල්වරයාගේ ඇගේ ගැටීමෙන් ඔහු ඉවතට විසි වී ගොස් ඒ අසල නවතා තිබූ පොලිස් කැබ් රථයේ ද ගැටී බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ද සිද්ධිය වූ අවස්ථාවේ කොස්තාල්වරයා ප්‍රධාන මාර්ගයෙන් පිටත වැලි තීරුවේ රැඳී සිට ඇති අතර වේගයෙන් පැමිණි වැලි ටිපර් රථය ඔහුගේ ඇගේ ගැටී ඇති බව ද පොලිසිය සඳහන් කරයි. අනතුර සිදු වූ අවස්ථාවේ ඒ අසල සිටි අනෙකුත් නිලධාරීන්ගේ කෑ ගැසීම හමුවේ ටිපර් රථය සිද්ධිය වූ ස්ථානයට මීටර් 20ක් පමණ ඉදිරියට ගොස් නවතා ඇත.

බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍යය තත්ත්වයෙන් කුරුණෑගල රෝහලට මාරු කර සිටියදී මියගොස් ඇත.සැකකාර ටිපර් රථ රියැදුරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. මෙම සතියේදී මාර්ගයේ රාජකාරියේ නිතරව සිටියදී මියගිය දෙවැනි කොස්තාපල්වරයා මොහුයි. මීට දින කිහිපයකට පෙර කොළඹ -  කුරුඳුවත්ත නිදහස් මාවතේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී මිය ගියේය.

මේ අතර, මහජනයාගේ ගමන් පහසුකම් වෙනුවෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. අයහපත් කාලගුණ තත්ත්වය නොතකා රථවාහන පොලිස් නිලධාරීන් සහ සෙසු නිලධාරීන් රාජකාරියේ යෙදී සිටින හෙයින් එම නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලු රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. පොල්ගහවෙල අනතුරේ සැකකාර රියැදුරු පොල්ගහවෙල මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ඉන්දිකා රාමනායක