port-city-crypto

කොළඹ වරාය නගරයේ (ක්‍රිප්ටොකරන්සි) මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යාමට අවසර දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය ගන්නා ලෙස මුදල් කාරක සභාව කොමිසමට නිර්දේශ කළේය. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.



කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති හතරක් ඇතුළත කමිටුවට දෙන්නැයි ද නිර්දේශ කෙරිණ. කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව පවතින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරිණි. මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ සිදුවී නැති බවයි.

මේ නිසා මේ සම්බන්ධයෙන් සති හතරක් ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා දැනුම් දෙන ලෙසට ද මුදල් කාරක සභාව නිර්දේශ කළේය. එම සමාගම් මෙම භුමියේ කරන ඉදිකිරීම් පරීක්ෂා කිරීම වැදගත් බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 24 වැනිදා රැස්විය.
අංජුල මහික වීරරත්න