prasanna-wife-court

තලවතුගොඩ ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකර ඉදිකිරීම් සිදුකිරීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳට පැවරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ ඊට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා තලවතුගොඩ කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයේ පදිංචිකාරියක් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙම වගුරු බිම ගොඩකර ඉදිකිරීම් කළ හොත් වැසි ජලය බැස යෑම අවහිර විය හැකි බවත්, ඩෙංගු ඇතුළු රෝගී තත්ත්වයන් ව්‍යාප්ත විය හැකි බවත් සඳහන් කරමින් මෙම රීට් ආඥාව ඉල්ලා සිටින පෙත්සම්කාරිය, වගුරු බිම ගොඩ කර ඉදිකිරීම් නවතාලීමට ක්‍රියා කිරීම හේතුවෙන් තමන්ට ඇති වූ තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පලා යාමට සිදු වූ බවද අභියාචනාධිකරණයට දැනුම් දුන්නාය.

මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු රජයේ ආයතනවලට පැමිණිලි කළද,

ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත්, තලවතුගොඩ, පෙරේරා මාවතේ කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයේ සහ මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචි අනිෂ්කා රංජීවි ද සිල්වා මහත්මිය සිය පෙත්සමේ සඳහන් කරන්නීය.

අනිෂ්කා රංජීවි ද සිල්වා මහත්මිය ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ඔහුගේ බිරිඳ වන මොරින් රණතුංග මහත්මිය, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර ඇත.

තලවතුගොඩ, පෙරේරා මාවතේ කෙල්සි හෝම්ස් නමැති නිවාස සංකීර්ණයෙන් තමන් නිවසක් මිලදී ගත් බවත්, එම නිවාස සංකීර්ණයට යාබදව ඇළ මාර්ගයක්ද සහිත වගුරු බිමක් ඇති බවත් සදහන් කරන පෙත්සම්කාරිය, ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සිටි සමයේ මෙම ඉඩම නීතිවිරෝධී ආකාරයෙන් ගොඩ කර අනවසර ඉදිකිරීමක් කිරීමට පියවර ගෙන ඇතැයිද පවසන්නීය.



මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පතිවරයා, කඩුවෙල නගර සභාව ඇතුළු ආයතනවලට පැමිණිලි කළද, ඉන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත්, මේ පිළිබඳ පැමිණිලි කිරීම හේතුවෙන් තමන්ට එල්ල වූ මරණ තර්ජන නිසා රටින් පලා යෑමට සිදු වූ බවත් පවසන පෙත්සම්කාරිය, මෙම නීතිවිරෝධී ක්‍රියාව නිසා වැසි ජලය බැස මේ අවහිරතා මතු වී ඩෙංගු ඇතුළු රෝගී තත්ත්වයන් ව්‍යාප්ත වන තත්ත්වයක් උද්ගතව ඇති බවත් සඳහන් කරන්නීය.

මේ පිළිබඳ කරුණු සොයා බැලීමේදී මම ඉඩම ගොඩ කර ඉදිකිරීමක් කිරීම සඳහා ඇමති ප්‍රසත්න රණතුංග මහතාගේ බිරිඳට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇති බව අනාවරණය වූයේ යැයිද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි ක්‍රියාවක් යැයිද පෙන්වා දෙන පෙත්සම්කාර අනිෂ්කා රංජිවි ද සිල්වා මහත්මිය, අදාළ ඉඩම පැවරීමේ ක්‍රියාවලිය නීතියට සම්පූර්ණයෙන්ම පටහැණි බවට තීන්දු කර එය බල රහිත කිරීමේ ඊට් ආඥාවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටින්නීය.

අදාළ වගුරු බිමේ මේ වනවිට සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර අනිෂ්කා රංජීවි ද සිල්වා මහත්මිය, අදාළ ඉඩම ඇළ මාර්ගයට සම්බන්ධ රජයේ ඉඩමක් වශයෙන් පවත්වාගෙන යෑමට නියම කරන්නැයිද ඉල්ලා සිටින්නීය.

-බුද්ධිමාල් රුබේරු