මහරගම විජේරාම හන්දිය ආසන්නයේ පිහිටි ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේනට අයත් නිවෙසක අඩි හතළිහක් පමණ දිගින් යුත් අනාරක්ෂිත තාප්පයක්
ඊයේ (16) දහවල් 12.30 ට පමණ කඩා වැටීමෙන් ඊට යාබද මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයේ දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
සිසුවාගේ පාදයකට දෙඅත් වලට හා සිරුරේ ස්ථාන කිහිපයකට තුවාල සිදුව ඇති බවත් ඔහුගේ තත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
අඩි හතළිහක් පමණ දිගින්ද අඩි පහළොවක් පමණ උසින්ද යුත් මෙම තාප්පයට කොන්ක්‍රීට් බීම් හෝ ලින්ටල් නොයොදා ඉදිකිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බවත් වසර හතළිහක් පමණ පැරැණි මෙම තාප්පය අනතුරුදායක බැවින් එය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදී නිවැසියන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම අනතුර වූ බවත් පාසලේ මවුපියෝ චෝදනා කරති.
අනතුරින් සිසුන් භාවිතා කරන කැසිකිළි පද්ධතිය හා ආචාර්ය මණ්ඩලය භාවිතා කරන වැසිකිළි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
අනතුර වන අවස්ථාවේ දී සිසුන් තිදෙනකු කැසිකිළිය භාවිතා කරමින් සිට ඇති බවත් එක්වරම අඩි පහළොවක් පමණ උසින් යුත් තාප්පය සිසුවාගේ ඇඟ මතට වැටී මෙම අනතුර වී තිබූ බවත් කියති.
යම් හෙයකින් මෙම අනතුර විවේක කාලයේදී සිදු වූයේ නම් මීට වඩා විනාශයක් වන්නට ඉඩ තිබූ බව මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති සරත් අධිකාරි මහතා පවැසීය.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් දැනුවත් කර ඉදිරි පරීක්ෂණ කිරීමට නියමිත බවද ඔහු කීය.
සිද්ධියෙන් පසුව මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ස්ථානීය පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණ සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
0 Comments