pussallawa-student-death

ලෝක ළමා දිනයට සමගාමීව පුස්සල්ලාව හින්දු ජාතික පාසලේ පෙරේදා (4 වැනිදා) පැවැති උත්සවය වෙනුවෙන් පන්ති කාමරයේ පැවැති සාදයේදී ඩෙස්ක් එකක් උඩ නැග, සිසුන් දෙතුන් දෙනකු සමග නටමින්,සින්දු කියමින් සිටි එක් සිසුවකු හිස සිවිලිමේ සවිකර ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවේ වැදීමෙන් බරපතළ තුවාල ලැබීමෙන් පසු අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමේ සිදුවීමක් වාර්තාවිය.
පුස්සල්ල හින්දු ජාතික විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි  රාජරත්නම් චතුරසන් (වයස - 15) නමැති සිසුවෙක් මෙසේ මියගොස් ඇත. ඔහු ඩෙල්ටා නෝර්ත් ඩිවිෂන් වතුයායේ පදිංචිව සිටියේය.

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මෙම පාසලේ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රධාන උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව දහවල් 1.30 ට පමණ මෙම සිසුවා ඇතුළු සිසුන් ඔවුන් ඉගෙනුම ලබන දහ වැනි වසරේ පන්ති කාමරයට පැමිණ නටමින්, ගී ගායනා කරන අතරවාරයේ මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් දෙතුන් දෙනකු ඩෙස්ක් එකක් උඩට නැග, සින්දු කියමින්, නටමින් සිටියදී සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාවේ හිස වැදී, බරපතළ තුවාල ලබා ඇතැයි ද වාර්තා විය.



 පන්ති භාර ගුරුවරයා  එම සිසුවා මුලින්ම වහුගහපිටිය රෝහලට ඇතුළත් කර පසුව, සිසුවා අසාධ්‍ය තත්ත්වයේ සිටි නිසා ගම්පොළ මූලික රෝහලට රැගෙන ගොස්  තිබුණි.
වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා, සිසුවා මියගොස් ඇති බව දැනුම් දී ඇත. මරණයට හේතුව අධික රුධිර වහනයයි.

පුස්සැල්ලාව පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් මෙම සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මේ අතර හින්දු ජාතික විද්‍යාලයේ දෙමාපියන් කිහිප දෙනෙකු අද එම විද්‍යාල පරිශ්‍රයේ විරෝධතාවයක නිරත වූ බව වාර්තා වේ.සිසුවාගේ පන්ති භාර ගුරුවරයා මාරුකර යවන ලෙසත්, විදුහල්පතිවරයා මාරු කර යවන ලෙසත්, සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ඉල්ලා මව්පියෝ විරෝධතාවයේ නිරත වෙති.

සිසුවාගේ මියයාමෙන් පසු සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම විරෝධතාව සිදු කර ඇති බව වාර්තා වන අතර පාසලට පැමිණි ගුරුවරුන් සහ සිසුන් අද ආපසු ගොස් ඇති බවද වාර්තා වේ.

පාසලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අද පාසලට පැමිණ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දන්වා ඇත.
එම සාකච්ඡාවෙන් පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද දන්වා ඇත.