පුත්තලම නොරොච්චෝල නගරයේ දී පෙරේදා (19) රාත්‍රියේ කුඩා ලොරි රථයක යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාරක අනතුරකින් පුතා සහ පියා මියගොස් තව අයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව නොරොච්චෝල පොලිසිය කියයි.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහක් වයසැති වර්ණකුලසූරිය අරෝෂ් නමැති දරුවකු සහ ඔහුගේ පියාය. මාරක අනතුරින් මරණයට පත්වූ දරුවා කල්කුඩාව පිපෙන කැකුළු පෙර පාසෙල් අධ්‍යාපනය හදාරන සිසුවකු බව කියයි.
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි පියාගේ මිතුරකු පුත්තලම මූලික රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් බලධාරීහු පවසති.
නොරෝච්චාල නගරයේ මෙම මාරක අනතුර සිදුව ඇති අතර පාලවිය සිට පැමිණි යතුරුපැදිය කල්පිටිය දෙසින් පැමිණි කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදිය ලොරි රථයේ ගැටීමත් සමග යතුරුපැදියේ ඉන්ධන ටැංකිය උඩ ගමන් කරමින් සිටි දරුවා ලොරියේ ගැටී අඩි 40 කට ආසන්න දුරකට විසිවී ගොස් එම ස්ථානයෙදීම මරණයට පත්වී සිටි බව පොලිසිය කියයි.
ලොරි රථ රියැදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර අනතුර සම්බන්ධව නොරොච්චෝල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කල්පිටිය පත්මා කුමාරි කංකානම්ගේ සහ ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ
0 Comments