rajini-selvanayagam-passed-away-cancer

ප්‍රවීණ නර්තන ආචාර්යවරිය වූ කලාශූරී, විශ්වකලා කීර්ති, රැජිණි සෙල්වනායගම් මහත්මිය 71 වන වියේදී දිවි සැරිය නිම කළාය. මීට වසර හයහමාරක පමණ කාලයක සිට පෙනහළු පිළිකා රෝගය සමග සටන් කරමින් සිටි ඇය  ඊයේ (20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත විය.


රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය දේශීයව පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද සුපතළ ‘නර්තන රැජිණිය’ ලෙස විරුදාවලිය ලද්දියයි.

චන්න - උපුලී ඇතුළු මෙරට පසුකාලීන නර්තන පර්ම්පරාවන්ගේද මුල් ගුරුවරියයි.
 ඇය ‘කලා කීර්ති’ සහ ‘විශ්ව කලා කීර්ති’ යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටි අතර දහස් ගණනක් නර්තන ශිල්පීන් බිහිකළා සේම මෙරට නර්තන සංස්කෘතිය ලෝකය හමුවේ බබලවන්නට මුල්වූ තැනැත්තියකි.
නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය.නර්තන කලාව තුළින් සංස්කෘතිය, සම්ප්‍රදාය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කරමින් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණින් කුඩා පන්ති කාමරයක් ලෙස 1975 දී ආරම්භ කරන ලද ‘චාමර‘ කලායතනයේදී ඇය බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත සරු කිරීමට පටන් ගත්තාය.

 එතැන් පටන් ඇය වරප්‍රසාද නොලත් සිසුන් ඇතුළු විවිධ පසුබිම්වලට අයත් සිසුන් රැසකට උපකාරක ගාස්තුවක්වත් අය නොකර ඉගැන්වූවාය. ඇය ශ්‍රී ලංකාවේ බොහෝ නර්තන තරඟ සඳහා විනිසුරුවරියක් ලෙස සහභාගී වී ඇති අතර බොහෝ තරුණ දක්ෂ සිසුන් සඳහා ඇයගේ කාලය සහ මග පෙන්වීම ලබා දී ඇත.

2016 දී පෙනහළු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමු වූ ඇය මියයනතුරු කලාකටයුතු අත් හැරියේ නැත.
රැජිණි සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.