rambukkana-incident

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට රඹුක්කන, තිස්මල්පොල ප්‍රදේශයට පෙරේදා (23) සවස ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුට එහි සිටි පිරිසක් අතින් පයින් සහ පොලුවලින් පහරදී නිලධාරියකුට පිහියෙන් ඇනීම හේතුවෙන් තුවාල ලබා ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු එකම පවුලේ සිවු දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.අත්අඩංගුවට ගනු ලැබූ ගනු ලැබූ පිරිසේ ගුරුවරියක,විසිපස් හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකු සහ සමෘද්ධි නියාමකවරියක ද සිටින බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. සිද්ධියෙන් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට මෙසේ ඇතුළත් කරනු ලැබ සිටින්නේ රඹුක්කන, නාරංබැද්ද විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරුන් වන කේ.පී.ඩී.සී.ආර්. රත්නායක, ආර්.එච්.කේ. විමලසේන යන දෙදෙනාය. රත්නායක මහතා දැරණියගල පදිංචිකරුවකු වන අතර විමලසේන මහතා කලියාපිටියේ පදිංචිකරුවෙකි.



රඹුක්කන පොලිස් වසමේ යටගම, තිස්මල්පොළ ප්‍රදේශයේ නිවෙසක පුද්ගලයකු හෙරොයින් ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව රඹුක්කන, නාරංබැද්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්ෂක වෙලගෙදර නමැති නිලධාරියා සහ තුවාල ලබා ඇති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පෙරේදා (23) සවස එම නිවෙසට ගොස් ඇති අවස්ථාවේදී මේ පහරදීම වී ඇතැයි කියති.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ජාවාරම්කරුගේ නිවෙස ආසන්නයට ආසන්නයට ගොස් ජාවාරම්කරු මුණගැසී මුදලින් රුපියල් 4700 ක් ලබාදී හොරොයින් පැකැට් දෙකක් ගත් අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කෑ ගසා ඇති අවස්ථාවේදී කොස්තාපල්වරුන් දෙදෙනා තමන් පොලිසියෙන් බව කියා හැඳුනුම්පත් පෙන්වා ඇත.

කෑ ගසන ශබ්දය ඇසී නිවෙසේ සිටි සැකකරුගේ මව වන 59 හැවිරිදි සමෘද්ධි නියාමකවරිය, වැඩිමහල් සහෝදරියක වන 36 හැවිරිදි ගුරුවරියක, විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන බාල සහෝදරයා පැමිණ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට මෙසේ පහරදී ඇතැයි කියති.

තුවාලකරුවන් දෙදෙනාගේ පිට කොන්ද, පපුව, කන, උර බාහුව, නළල යනාදී ස්ථානවලට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොයින් ග්‍රෑම් 6 මිලි ග්‍රෑම් 800 ක් හා අයිස් මිලි ග්‍රෑම් 400 ක් සමග බව පොලිසිය කියයි. සැකකරුගේ මව පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවෝ සිවු දෙනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

 ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය