ramesh-health

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවාහැර නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කිරීමටත් තවත් ආයතනවල සභාපතිවරුන් ඉවත්කර අලුතින් පත්කිරීමටත් සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග සදහන් කරයි.



එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද හෙටම විසුරුවා හැරෙන අතර ඊට නව සභාපතිවරයකු සහ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කිරීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇතැයි ද වාර්තාවේ.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) නව සභාපතිවරයකු පත්කිරීමට ද නියමිත අතර එහි ඉහළ තනතුරු කීපයකට ද නව නිලධාරීන් පත් කරනු ඇතැයි ද පැවසේ.ස

ෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය සැපයීම් අංශයේ ඉහළ තනතුරු කීපයක වෙනස්කම් සිදුකෙරෙන අතර, අමාත්‍යාංශයේ අංශ කීපයක ඉහළ තනතුරුවල ද වෙනස්කම් සිදු කිරීමට නියමිත බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉකුත් කාලයේ තත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම, ඒවාට අවසර ලබාදීම, තත්වයෙන් බාල ඖෂධ රෝහල්වලට බෙදා හැරීම, ඖෂධ හදිසි මිලදී ගැනීම් මගින් දූෂිත ගනුදෙනු සිදුකිරීම සහ ටෙන්ඩර් අක්‍රමිකතා ඇතුළු විවිධ චෝදනාවලට වගකිවයුතු බව කියන ආයතන ප්‍රධානීන් අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ඉහළ නිලධාරීන් එම තනතුරු වලින් ඉවත් කරනු ඇතැයි ද එම ආරංචිමාර්ග තහවුරු කරයි.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ ඉකුත්දා රාජකාරි ආරම්භ කරමින් සඳහන් කළේ, ඍජු තීන්දු තීරණ ගෙන සෞඛ්‍ය සේවාව විධිමත් කිරීමට පසුබට නොවන බවය.
රංජන් කස්තුරි