ranil-mulathiw-magestrate

තමාට ජීවිත තර්ජන ඇති බව පවසමින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා සම්බන්ධයෙන් ස්වාධීන වූ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්මා වෙත උපදෙස් ලබාදී ඇත.



පසුගිය සැප්තැම්බර් මස 23වනදා මුලතිව් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී ඇති බවට වාර්තා වෙයි.

අනතුරු මුලතිව් මහේස්ත්‍රාත්වරයා තමන්ට ජීවිත තර්ජන ඇති බව පවසා මෙරටින් පිටව සාර්ජා බලා පිටත්ව ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට නීතිඥ සාමූහිකය විසින්ද සාධාරණ වූ විනිවිදභාවයෙන් යුතු පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට නිවේදනයක්ද නිකුත් කර ඇති අතරම උතුරු පළාතේද දේශපාලන නියෝජිතයන් මෙන්ම යාපනය සහ වවුනියාව විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් විසින්ද වහාම පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීමක් කර ඇත.



මුලතිව් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා පසුගිය කාලවකවානුවේදී දැඩි ලෙසින් කතාබහට ලක්වූ මහේස්ත්‍රාත්වරයෙක් වූයේ මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලබා දුන් අධිකරණමය තීන්දු සහ මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ හමුවූ සමූහ මිනීවල සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ කටයුතු නිසාය.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයාට පැවති ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙතෙක් හෙළි වී නොමැති අතරම මුලතිව් මහේස්ත්‍රාත්වරයා විදෙස්ගතවීමට පෙර මෙරට තානාපතිවරුන් කිහිපදෙනෙකු සමගද සම්බන්ධතා පවත්වා ඇති අතරම මහේස්ත්‍රාත්වරයාගේ පෞද්ගලික මෝටර් රථයද කොළඹ ප්‍රදේශයට විකුණා ඇති බවටද මේ වන විට අනාවරණය වී ඇත.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සහ ජීවිත තර්ජන සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලීසිය විසින්ද පරීක්ෂණයක් අරඹා ඇත.

 වවුනියාව මධුෂංඛ අමරසිංහ