rice-issue

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ වී කිලෝ ලක්ෂ අටකට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එහි වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බවද එම අමාත්‍යාංශය සදහන් කරයි. එම සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ සේවක පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර ඇත.



මෙම වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු වී ගබඩා පහක මේ සොරකම් සිදුව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වී තොගවලට සිදු වූයේ කුමක්දැයි සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට නියෝග කර ඇත.



එම වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට සහ පොලිසියට පරීක්ෂණ බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

2020-2021 කාලයේ දී වරින්වර මිලදී ගත් වී තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

- අංජුල මහික වීරරත්න