සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අවසන් වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෛද්‍ය පාඨමාලා අනුව තිබිය යුතු පහසුකම් නොමැතිකමින් එම වෛද්‍ය පීඨයේ වෛද්‍ය පාඨමාලාව පිළි නොගන්නා තත්ත්වයක් පැන නැගී ඇති බව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
සබරගමු විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති මලිත් මධුරංග ශිෂ්‍යාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සබරගමුව වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කර සති පහක් ඉක්මවා ඇතත් අවසන් වසරේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබිය යුතු අධ්‍යයන පහසුකම් මෙතෙක් සපුරා නැති බවයි.
වෛද්‍ය සභාවේ නියෝජිතයන් පිරිසක් පසුගිය සැප්තැම්බර් 19දා සබරගමුව විශ්වවිද්‍යාලයේ සහ රත්නපුර ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ද නිවේදනයේ දැක්වේ. එහිදී සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට දන්වා ඇත්තේ සබරගමුව වෛද්‍ය පීඨයේ කෙරීගෙන යන අධ්‍යයන කටයුතු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රමිතීන්ට පටහැණි බව යැයි ද නිවේදනයේ දැක්වේ.
මේ අඩුපාඩු සකසා අවසන්කර දෙන තුරු සබරගමු විශ්වවිද්‍යාලයේ පළමු කණ්ඩායම සිය අධ්‍යයන කටයුතු වර්ජනය කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ද නිවේදනයේ දැක්වේ. සබරගමු වෛද්‍ය පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම හැත්තෑපස් දෙනෙකුගෙන් සමන්විතය.
ලංකාවේ නවවැනි වෛද්‍ය පීඨය සබරගමු විශ්වවිද්‍යාලයේ ස්ථාපිත මෙම වෛද්‍ය පීඨයයි. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ කුරුවිට බටුහේනේ පිහිටුවා තිබූ එකම පුහුණු මධ්‍යස්ථානය වෛද්‍යපීඨයක අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සබරගමු වෛද්‍යපීඨය ලෙස පිහිටුවනු ලැබීය.
සබරගමුව වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහාචාර්ය පුහුණුව ලබාදෙන්නේ රත්නපුර ශික්ෂණ මහ රෝහලේ වෙන්කළ වාට්ටු දෙකකින් පමණක් බවත්, එය ඊට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනූජ රොද්‍රිගෝ මහතා පසුගියදා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දුන්නේය.
වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය ඒකකය යනු වෙනම ම වාට්ටු සංකීර්ණයක් බවත් අඩුම තරමින් වාට්ටු පහක්වත් වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයක තිබිය යුතු බවත් රෝහල් අධ්යක්ෂවරයා එදින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දුන්නේ ය.
රත්නපුර නව නගරයේ ගල්කඩුව ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර විස්සක බිම් ප්‍රමාණයක් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වෙන්කර ඇත. 2020 ඔක්තෝබර් (24දා) වෛද්‍ය පීඨයේ නව පරිපූරක සායන සහ පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබිණ. එහෙත් එහි පරිපූරක සායන ගොඩනැගිලිවත් මෙතෙක් ඉදිවී නැති නිසා මාහාචාර්ය පුහුණුව නිසි ආකාරයෙන් නොලැබෙන බවට වත්මත් සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දෙති.
(අජිත් ලාල් ශාන්ත උදය)
0 Comments