saharan-cctv-shangrilla

පාස්කු ඉරුදින විදේශිකයන් සඳහා සකස් කළ “ඊස්ටර් බුන්ච්” බෝජනය සඳහා අමුත්තන් ඔවුන්ගේ අසුන්වල ඉන්දවමින් සිටින අතරතුර එක වරම මහා හඬක් නංවමින් විශාල පිපිරුමක් ඇසුණා. ඒ සමග මුළු අවන්හලම අන්ධකාර වුණා. මා එහි අනෙක් පැත්තට දුවන විට මහා හඬක් නංවමින් තවත් පිපිරුමක් වුණා” යැයි ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවිකාවක වන අසංකා හංසමාලි මහත්මිය පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් මව්ලවිවරුන් ඇතුළු 25 දෙනකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඊයේ (10) පැවසුවාය.



එම පිපිරුමෙන් මගේ හිසටත් තුවාල වුණා. ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින විට පොලිසිය පෙන්වූ ඡායාරූපවල සිටි සහරාන් නමැත්තා මා හඳුනා ගත්තා යැයි අසංකා හංසමාලි මහත්මිය වැඩිදුරටත් කීවාය.කතෝලික දේවස්ථාන හා හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාලවීම මවුලවිවරුන් ඇතුළු සම්බන්ධයෙන් විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි විභාගය ආරම්භ කරමින් හංසමාලි මහත්මිය එසේ කීවාය. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති), අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

2019 අප්‍රේල් 21 වෙනිදා සහ ඊට ආසන්න කාලය තුළ ලංකාවේ විවිධ ප්‍රදේශවල දී පාස්කු ඉරිදා කතෝලික පල්ලි හා තරු පහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව සූදානම් වීම මෙම අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබල දීම පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි රැස් කිරීම මිනී මැරීම හා මිනීමැරීමට තැත් කිරීම් ඇතුළු කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා ඇත.ම

ෙලෙස චෝදනා ලැබ සිටින්නේ මොහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා, නයාතු මොහොමදු අහමදු මිල්හාන් හෙවත් අබු සිලා, මොහොමද් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොමද් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික්, මොහොමඩ් මන්සුර් මොහොමඩ් සනස්ථීන් හෙවත් තයිබු, අබුදුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාජිත්, අබ්දුල් ලතීෆ් මොහොමදු සාෆි හෙවත් සාෆි මව්ලවි,හුසෙනුල් රිස්වි කාලිද් සමීර්, මොහොමද් ස්වාහීර් මොහොමඩ් හසන්, මොහොමද් ඉස්තිකාර් මොහොමද් ඉන්ෂාෆ්, රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දින්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්, යාසිම් බාවාඅබුදුල් රවුෆ්, රාසික් රාසා හුසෙයින්, කච්චි මොහොමදු ජෙම්සන්, සෙයිනුල් ආබ්දින් මොහොමඩ් ජසීම්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්, මීරා සහිබ් මොහොමඩ් නෆ්ලි, මොහොමඩ් අමීර් මොහම් මදු අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර්ඩීන් මොහොමඩ් ඉල්මී සහ මොහොමඩ් අක්‍රම් අහත්කම් නමැත්තන්ටය.

සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී දිවයිනේ විවිධ  බන්ධනාගාරවල රඳවා සිටි විත්තිකරුවන් හා බන්ධනාගාර පොලිස් නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි. නඩු විභාගය ආරම්භ කරමින් පැමිණිල්ලේ දේශනය කළ කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරු දිනය යෙදී තිබුණු බවත් එදින ස්ථාන අටක දී එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරුවේ යැයි කීවාය.



නඩුවේ 17 වැනි විත්තිකරු මියයෑම හේතුවෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පැවැත්වෙන බවත් වැඩිම චෝදනා සංඛ්‍යාවක් ඇති නඩුව වශයෙන් මෙම නඩුව වාර්තා ගත වන බවත් කී හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම තම අරමුණ බවත් කීවාය. ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වී ඇති ආකාරය, කණ්ඩායම් වශයෙන් එම කටයුතු සංවිධානය වූ ආකාරය සහ පුපුරන ද්‍රව්‍ය රැස් කළ ආකාරය ඇතුළු සිද්ධීන් මෙම නඩුවේ දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නෙන් යැයි ද සීසීටීවී දර්ශන ඇතුළු පරිවේශනීය සාක්ෂි ද ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යැයි ද හරිප්‍රියා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් කීවාය.

නඩුවේ සාක්කි විභාගය ආරම්භ කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් හප්‍රියා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපානඅංශයේ සේවිකාවක වන අසංකා හංසමාලි මහත්මිය සාක්කි දෙමින් මෙසේ ද කීවාය.

සිද්ධිය වූ දින පෙරවරු 6.00ට පමණ ෂැංග්‍රිලා හෝටලයේ අවන්හලේ සේවයට මා වාර්තා කළා. විදේශිකයන් සඳහා '‘ඊස්ටර් බ්‍රන්ච් ’'' යනුවෙන් විශේෂ ආහාර වේලක් එදින සකස් කර තිබුණා.එදින හෝටලය හෝටලය පැමිණි අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩි කරවීමට මා කටයුතු කරමින් සිටිය දී ෂැංග්‍රිලා හෝටලයේ අවන්හලේ සී සහ ඩී කොටස් අතර ස්ථානයක පළමු බෝම්බය පුපුරා ගියා. ඒත් එක්කම අවන්හල තුළ දැඩි අන්ධකාරයක් හට ගත්තා. ඒත් එක්කම මා හෝටලයේ සී කොටසට යද්දී දෙවන බෝම්බය පුපුරා ගියා. මෙම බෝම්බ පුපුරා යෑමෙන් පසු අවන්හල පුරා මස් කැබලි, අත් සහ පාද කොටස් කැබලි වී තැන තැන විසිරී තිබූ අයුරු මා දැක්කා. බෝම්බ පිපිරීම් නිසා මගේ හිසට තුවාල වුණා. මා ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගත්තා. විමර්ශන නිලධාරීන් පැමිණ මගේ ප්‍රකාශ සටහන් කරගත්තා ඡායාරූප දෙකක් පෙන්වා ඔවුන් හඳුනනවාදැයි මගෙන් විමසුවා.

එක් ඡායාරූපයක සිටි කෙනෙක් පෙන්වා පිපිරීම වීමට පෙර ඔහු මා අසලින් ගමන් ගත් ආකාරය මා එම නිලධාරීන්ට කීවා. ඔහු සහරාන් වශයෙන් පසුව මා හඳුනාගත්තා. වැඩිදුර සාක්ෂි විමසීම කල් තබන ලදී. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පෙනී සිටියාය.අගතියට පත් කොළඹ රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් නීතිඥවරුන් කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥ ශමිල් සිල්වා මහතා පෙනී සිටියේය.
මනෝප්‍රිය ගුණසේකර