government-service-salary-hike-protest

වසර 7 කින් රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නොගොස් ජීවන වියදම දිනෙන් දින අසාමාන්‍ය ලෙස ඉහළයාම නිසා එලැඹෙන අයවැයේදී රාජ්‍ය අංශයේ සියලුම සේවකයන් ඒකාබද්ධ කරගත් රුපියල් 20,000ක් වැටුප් වැඩිවීමක් දිනා ගැනීමේ සටනක් මේ වනවිට  දියත් වෙමින් තිබෙන අතර ඒ සඳහා වෘත්තීය සමිති රැසක් විවිධ ආකාරයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිමින් සිටිති.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසන්නේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් අනිවාර්යයෙන් අවශ්‍ය බවය.

වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියේ දී සියලු වෘත්තිය සමිති ඒකාබද්ධ දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සංධානයද අවධාරණය කරයි.

මේ අතර පසුගිය 24 වනදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට දහස් ගණනක ගුරුවරු විදුහල්පතිවරු සමග රැස්වූ ගුරු විදුහල්පති සන්ධානය ගුරු විදුහල්පති වැටුප් විෂමතාවේ ඉතිරි 2/3 ලබාගැනීම,

දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීම, දෙමාපියන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර ඉවත් කරගැනීම, අධ්‍යාපනයට 6%ක් වෙන් කරවා ගැනීම මූලික කරගනිමින් දැවැන්ත විරෝධතාවක නිතර වූහ. එම විරෝධතාවට එල්ල වූ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය හෙලා දකිමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ආණ්ඩුවට අවධාරණය කළේ ඉදිරියේදී නවපන්නයේ විරෝධතාවකට සූදානම් වන බවය.

සමස්ත ලංකා රාජ්‍ය කළමනාකර සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක පවසන්නේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් සිදු වීම අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් සියලු වෘත්තිය සමිති ඒකාබද්ධ දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවත්ය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පසුගිය 24වනදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවති විරෝධතාවයේදී සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ සඳහන් කළේ ලංගම සේවකයන් දැඩි ආර්ථික දුෂ්කරතාවකින් පෙළෙන බැවින් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොකැඳවා වහාම රුපියල් 20,000ක දීමනාව ලබාදීමට කටයුතු කළ යුතු බවය.



ආයුර්වේද සේවකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන හා පරිපාලන ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති, සංවර්ධන නිලධාරීන්, වරාය සේවකයින්, සෞඛ්‍ය සේවකයන්, රාජ්‍ය කළමනාකාර සහකාර නිලධාරීන්, ග්‍රාම නිලධාරීවරු, පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්, සමෘද්ධි කළමනාකරුවන්, රජයේ කාර්යාල සේවකයන් ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක සේවකයෝ මේ වනවිට මෙම රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් හෝ රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලමින් විරෝධතා ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටිති.