sanath-nishantha-speaks

පසුගිය සතියේ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත විසින් නාමල් රාජපක්ෂගේ මංගල දිනයේ ලක්ෂ 26 ක විදුලි බිලක් ගෙවූ කතාවක් වාර්තාවිය. අනතුරුව මහජනතාවගේ විදුලි බිල්පත් ගෙවන අයෙකු ලෙස සනත් නිශාන්තගේ දුරකථන අංකය වට්ස් ඇප් ඔස්සේ හුවමාරු විය. ඔහු ඒ ගැන සතිඅන්ත පුවත්පතකින් පැහැදිලි කර තිබේ. ඒ මෙසේය.

නාමල් රාජපක්ෂගේ විවාහයෙන් සෑහෙන කාලෙකට පස්සේ කොහොමද විදුලි බිලක කතාවක් කරළියට ආවේ ?

එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රිවරයෙක් ඉතාමත් නරක විදිහට රාජපක්ෂලාට චෝදනා කළා. වැඩසටහනට මමත් සහභාගි වුණා. රාජපක්ෂලා කියන්නේ හොරු. ලයිට් බිල් ගෙවලත් නැහැ කියලා ඔහු කිව්වා. එතනින් තමයි මේ ප්‍රශ්නය පටන් ගත්තේ? මම ඒ ආයතනයේදීම නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුමක් අරගෙන මේ ප්‍රශ්නය කිව්වා. මොන ලයිට් බිලක් ගැනද කියන්නේ කියලා නාමල් රාජපක්ෂ මගෙන් ඇහුවා. ඇත්තටම ඒ ගැන ඔහු කිසිම දෙයක් දන්නේ නෑ.



නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගැන දැනගන්න ඔබ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගියා කියලත් ආරංචියි?

මේ කාරණය පිළිබඳ හොයල බලලා ඇත්තම තත්ත්වය දැනගන්න මම විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගියා. මම සභාපතිතුමාව හමුවන්න කල්තියා වෙලාවක් වෙන් කරගෙනයි ගියේ. හවස තුන තමයි මට ලැබුණු වෙලාව. ඒ වෙලාවේ ඉඳලා කාර්යාලය වහන වෙලාව වෙනකම්ම එහෙම බිලක් හොයා ගන්න බැරි වුණා.
එවක හිටිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරක්ෂා කරන්න යොදවපු ආලෝක පහන්වලට තමයි මේ බිල ගිහිල්ලා තියෙන්නේ කියලා අවසානේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මට කිව්වා. ඒ යෝජනාව රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත් වූ යෝජනාවක් නෙවෙයි.
මම තුන්වෙනි පාර්ශ්වයක් විදිහටයි මේ ප්‍රශ්නයට සම්බන්ධ වුනේ. ඇත්තටම ඒ වෙලාවේ මේ ලයිට්බිල ගෙවන්න ඕනි නැහැ කියලා මටත් ආපහු හැරිලා එන්න තිබ්බා. හැබැයි මම එහෙම හැරිලා ආවොත් මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. අනික මහින්ද රාජපක්ෂ මහත්මයාට ණයකාරයෙක් විදිහට මැරෙන්න දෙන්නත් බෑ. ඒ නිසයි මම මේ ලයිට් බිල ගෙවලා දැම්මේ.

ඔබ මේ කළේ අනාගත දේශපාලන ආයෝජනයක් ද?

ඇත්තටම මීට කලිනුත් මම රාජපක්ෂවරු වෙනුවෙන් එහෙම ආයෝජන කරලා තියෙනවා. වයඹ ඡන්දයට මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ දිස්ත්‍රික්කයට එනකොට තමයි මම පළමුවෙනි ආයෝජනය කළේ.  එදා එතුමා බලා ගත්තා කියලා මට කිසිම පාඩුවක් වෙලා නැහැ. ඒක අනාගතයට කරපු ආයෝජනයක් වුණා.
ඇත්තටම මේ ලක්ෂ විසි හයත් මම කරපු ආයෝජනයක් හැටියටයි මම දකින්නේ. ව්‍යාපාරිකයෙක් විදිහටත් දේශපාලනඥයෙක් විදියටත් අනාගතයේදී මට ඒ ආයෝජනයේ ප්‍රතිඵල ලැබෙයි. එය මම හිතන්නේ ලක්ෂ විසි හයක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා කියලා. රාජපක්ෂවරු වෙනුවෙන් ආයෝජනය කරා කියලා මට වැරදිලා නෑ.




බිල ගෙවන්න කොහෙන්ද සල්ලි?

 ලංකාවට අපනයන ආදායමක් ගෙනෙන රැකියාවක් තමයි මම කරන්නේ. මම රෝයල් කෝ ඇක්වා කල්චර් කියලා සමාගමක් කරනවා. ඒ සමාගමේ ඉස්සන් අභිජනනය කරන අභිජනනාගාරයක් තියෙනවා. මව් සතුන් ඇමරිකාවේ හවායි දූපත්වලින් ගෙනැල්ලා ලංකාවට පැටව් සැපයීම තමයි මේ ආයතනයෙන් කරන්නේ. ඒ පැටව් ගෙනියලා අපිම හදන අපේ ඉස්සන් ගොවිපළවල්වලට මුදාහරිනවා. ඒ ගොවිපළවල් වලින් අපිට සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. ඒ ආදායමෙන් තමයි මම මේ බිල ගෙවලා දැම්මේ.

ඔබ අඩු ආදායම්ලාභීන්ගේ ලයිට් බිල් ටික ගෙවනවා. ඒ බිල් ඔබේ අංකයට වට්ස්ඇප් කරන්න කියලා සමාජ මාධ්‍යවල හුවමාරු වෙන කතා ඇත්තක්ද?

මුළු රටේම ලයිට් බිල් ටික ගෙවන්න මට පශ්චාත් ප්‍රදේශයේ අමාරුවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අය මට මඩ ගහන්න මගේ දුරකථන අංකයත් ඇතුළත් කරලා එක එක විදිහේ පෝස්ට් හදලා එෆ් බී එකේ ශෙයා කරනවා. අඩු ආදායම්ලාභී ලයිට් බිල් ගෙවා ගන්න බැරි අයගේ බිල් ගෙවන්නම් කිව්වලු. ඒ අයගේ ලයිට් බිල් මගේ අංකයට වට්ස්ඇප් කරන්න කිව්වලු. අනේ මම නම් කිසිම තැනක එහෙම කියලා නැහැ. මගේ පෞද්ගලික ව්‍යාපාර වලින් රටේම ලයිට් බිල් ගෙවන්නත් බෑ.