sapugaskanda-murder

පසුගියදා සපුගස්කන්ද සියඹලාපේ පෙදෙසින් හිස නැති කාන්තා මළ සිරුරක් කැලණි ගං ඉවුරේ තිබී හමුවීමේ සිදුවීමක් හා එම සිරුර පිරිමියෙකු හා ඇවිද්ද අතුරුදන්ව සිටි විවාහක කතකගේ බවට සාක්ෂි හමුවීමේ සිදුවීමක් වාර්තා විය.


අංගොඩ රෝහල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි ප්‍රදීපා සිල්වා නමැති කාන්තාව පැහැරගෙන ගොස් සාහසික අන්දමින් ඝාතනය කර ඇගේ හිස සහ දෑත් කඳෙන් වෙන් කර නිරුවත් කවන්ධය බියගම සියඹලාපේ ප්‍රදේශයේ වගුරු බිමක සැඟවූ බවට  සැකකරන ව්‍යාපාරිකයා සහ ඊට ආධාර අනුබල දුන් බව කියන දේවාල කපුවකු සපුගස්කන්ද පොලිසිය වෙත ඊයේ (02දා) සවස භාරවී තිබේ.
නීතිඥයන් මාර්ගයෙන් මෙසේ භාරවූ ව්‍යාපාරිකයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එහිදී ඔහු මෙම සාහසික ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කළේය.

මෙම කෲර ඝාතනයට සම්බන්ධ බවට සැකකරන ව්‍යාපාරිකයා වසර 20 කට ආසන්න කාලයක සිට ප්‍රදීපා සිල්වා සමීපව ඇසුරු කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

තුන්දරු මවක වන මෙම කාන්තාව අංගොඩ රෝහල පාරේ පදිංචිකාරියකි. ඉකුත් 27 වැනිදා සිට තම මව අතුරුදන්ව ඇති බවට මෙම කාන්තාවගේ දියණියක විසින් මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී හෙළි කරගෙන ඇත්තේ ඇය අංගොඩ සිට ත්‍රිරෝද රථයකින් කඩුවෙල නගරයට ගොස් ඇති බවයි. එහිදී ව්‍යාපාරිකයා මුණගැසී ඔහු සමග හෝටලයකට ගොස් තේ පානය කර පසුව ඔහුගේ මෝටර් රථයේ නැගී ගොස් ඇති බව පොලිසිය සොයා ගත්තේය.

පසුව එම ව්‍යාපාරිකයාට අයත් සපුගස්කන්ද සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පිහිටි වසා දැමූ නිවසක් පරීක්‍ෂා කළ පොලිසිය එහි තිබී කාන්තා හිසකෙස් ලේ පැල්ලම් සහ අඩක් පිළිස්සුණු ඇඳුම් කීපයක් සොයා ගැනීමට සමත් විය. එම නිවස අවට ප්‍රදේශය තවදුරටත් පරීක්‍ෂා කිරීමේදී ආසන්නයේ වගුරු බිමක සඟවා තිබූ නිරුවත් කාන්තා කවන්ධය සොයාගැනීමට පොලිසිය සමත් විය.
මෙම කවන්ධය ප්‍රදීපා සිල්වාගේ බව ඇගේ පවුලේ ඥාතීන් විසින් හඳුනා ගන්නා ලදි.



ඒ වනවිට අතුරුදන්ව සිටි මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකරන ව්‍යාපාරිකයා සොයා පොලිස් කණ්ඩායම් 3 ක් විමර්ශන ආරම්භ කළහ.ෙ
දින ගණනක් තිස්සේ මෙම ව්‍යාපාරිකයා සොයා විමර්ශන පැවැත්වූ පොලිසිය මෙම ඝාතනයට දේවාල කපුවෙකු ද හවුල් වී සිට ඇති බව හෙළිකර ගත්තේය.

මේ අතර ඊයේ පෙරවරුවේදී මෙම ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය නුවරඑළිය සඳතැන්න විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගන්නා ලදි.

මේ සම්බන්ධයෙන් සඳතැන්න සද්ධර්ම නිකේතනයේ වැඩ වාසය කරන තෙලුල්ලේ චන්දානන්ද හිමියන් පැවසුවේ පොහොය දිනට පෙරදා විහාර භූමියට පැමිණි පුද්ගලයකු දින 3 ක් පන්සලේ නතරවීමට අවසර ඉල්ලා සිටි බවයි. පොදුවේ ඕනෑම කෙනෙකුට එහි නතරවීමට ලබාදෙන අවසරය මේ පුද්ගලයාටද ලබාදුන් බව උන්වහන්සේ කියා සිටියහ.

දින 3 ක් නතරවීමට අවසර ඉල්ලුවත් පොහොය දින දහවල් මෙම පුද්ගලයා ආපසු යන බව පැවසූ බවත් වියදම් අධික නිසා මෝටර් රථය දින කීපයක් විහාරස්ථානයේ තබා යන බව පවසා එහි යතුරු තමන් වෙත භාරදී ගිය බවත් චන්දානන්ද හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

සඳතැන්න විහාරයේ අතහැර දමා තිබූ මෝටර් රථය සපුගස්කන්ද පොලිසිය වෙත ඊයේ රැගෙන ඒමට කටයුතු කර තිබිණි.‍


ප්‍රදීපා සිල්වා නමැත්තිය සියඹලාපේ නිවෙසට රැගෙන ගොස් තමන්ගේ හවුල්කාර කපුවා සමඟ එක්ව මරා ගෙල සහ සිරුරේ කොටස් කපා වෙන් කිරීමෙන් පසු එම කොටස් සපුගස්කන්ද ෆවර් හවුස් ආසන්නයේ ඇති ඇළට විසි කර දැමූ බවට මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (02) පවසා තිබේ.

මුල්ලේරියාව තෝමස් චොන්ගම පදිංචිව සිටි ප්‍රදීපා සිල්වා (52) නමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් සොයමින් සිටි මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ හවුල්කාරුවෙක් ලෙස කටයුතු කළ කපුවා නිතීඥවරු මාර්ගයෙන් සපුගස්කන්ද පොලිසියට ඊයේ (02) භාර වීමෙන් අනතුරුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිණ.



මෙසේ භාරවී තිබුණේ සියඹලාපේ දකුණ මහසෙන් පාරේ පදිංචිකරුවෙක් වන බී.ජේ. සුදීර (53) නමැති ව්‍යාපාරිකයා සහ සියඹලාපේ දකුණ, සමෘද්ධි මාවතේ පදිංචිකරුවෙක් වන ජී.ආර්. රෝහිත කුමාර (48) නමැති කපුවාය.

මේ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර කටයුතු ඇතුළු සෑම දෙයක්ම සම්බන්ධයෙන් ජ්‍යෙතිෂ්‍ය කටයුතු සහ ගුරුකම් කටයුතු කර ඇත්තේ මෙම කපුවා විසිනි. දීර්ඝ කාලයක් තිස්සේ මේ ව්‍යාපාරිකයා සමඟ ඔහු කිට්ටු සම්බන්ධයක් පවත්වා ඇති අතර ව්‍යාපාරිකයා සහ ඝාතනයට ලක් වූ ප්‍රදීපා අතර පවතින සම්බන්ධතාව ගැනද මෙම කපුවා දැන සිට ඇත. මේ කාන්තාව නිතරම ව්‍යාපාරිකයාට හිරිහැරයක් බවට පත්ව තිබෙන බවත් මුදල් ඉල්ලා විටින් විට කරදර කර ඇති බවත් ව්‍යාපාරිකයා ප්‍රශ්න කිරිම්වලදී පොලිසියට පවසා ඇත.

දෙදරු පියකු වන මෙම ව්‍යාපාරිකයා තම දරුවකු සමඟ වාහනේක ගමන් කළද මේ කාන්තාව ඒ සමබන්ධයෙන් ඔහු සමඟ බහින් බස් වෙන බවද ව්‍යාපාරිකයා පවසා ඇත. මේ නිසා තමන් දැඩි කලකිරීමෙන් සිටියදී ඒ ඇයිදැයි කපුවා විමසූ බවත් ඔහුට විස්තරය පැවසූ විට කපුවා විසින් ඇය මරාදැමීමට යෝජනා කළ බවත් ව්‍යාපාරිකයා කියා තිබේ.

තමන්ට එවැනි දෙයක් කිරීමට හයියක් නොමැති බව ව්‍යාපාරිකයා පැවසූ විට කුලියට දීමට ඇති නිවෙසට ඇය ගෙන ආවොත් ඒ වැඩේ කරන්නම් යැයි කපුවා පැවසූ බවත් ව්‍යාපාරිකයා කියා ඇත. ඒ අනුව ඉකුත් 27 දා උදේ තමන් ඇයව කඩුවෙල සිට රැඟෙන එන විට කපුවා මන්නා පිහියක් ද ඇතිව නිවෙසට වී සැඟව සිටි බවත් හෙතෙම පවසා තිබේ. මෝටර් රථය සියඹලාපේ නිවෙසේ ගෙවත්තට ඇතුළු කිරීමෙන් පසුව ව්‍යාපාරිකයා ඇයට නිවෙසට යන ලෙස පවසා ඇති අතර ඒ අනුව ඇය නිවෙසට අඩිය තබා ආපසු හැරී “ කවුරු හරි ගේ ඇතුළේ ඉන්නවා වගේ දැනෙනවා“ යැයි පවසා සිටි බවද ව්‍යාපරිකයා පවසා ඇත. “ මේ ගෙදර කවුරුත් නැහැ. බය නැතිව ඇතුළට යන්න“ යැයි තමන් ඇයට කියූ පසු ඇය නිවෙස තුළට ගිය බවත් එවිට සැඟව සිටි කපුවා විසින් ඇයගේ ගෙල හරහා මන්නා පිහි පහර එල්ල කර ඝාතනය කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. මේ කාන්තාව උස, මහත තැනැත්තියක් වූ බැවින් තනිවම ඔසවාගෙන ගොස් වාහනයට දමා ගැනීමට අසීරු බැවින් කපුවා ඇයගේ සිරුර කොටස්වලට කපා මෝටර් රථයේ දැමූ බවත් පසුව සපුගස්කන්ද ෆවර් හවුස් ආසන්නයේ ඇති ඇළට විසි කර දැමූ බවත් ඝාතනයට යොදා ගත් මන්නයද ඒ සමඟ ඇළට විසි කර දැමූ බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා තිබේ.

පසුව නැවත සියඹලාපේ නිවෙසට පැමිණ නිවෙස සෝදා පිරිසිදු කර නුවරඑළිය බලා පලා ගොස් ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිය සහ දරුවන් පදිංචිව සිටින්නේ නුවරඑලියේ බැවින් යැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මේ වන විට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා ඇයගේ සිරුරේ කොටස් හා මන්නය විසි කළ ස්ථානය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (02) දිනයේම ආරම්භ කර තිබිණි.

නුවරඑළියට ගොස් ඇති ව්‍යාපාරිකයා සහ කපුවා සඳතැන්න සද්ධර්ම විහාරස්ථානයේ දින තුනක් සඳහා නවාතැන් ගැනීමට පහසුකම් ඉල්ලා ඇති බව අනාවරණය වී ඇත.



වන්දනා නඩ සහ නුවරඑළියේ සංචාරයේ පැමිණෙන පුද්ගලයන්ට නවාතැන් පහසුකම් සපයන සාමාන්‍ය පදනම මත මෙම විහාරස්ථාන භූමියේ මෙම ව්‍යාපාරිකයාටත් ඔහුගේ ගෝලයාටත් නවාතැන් පහසුකම් ලැබී ඇත.

පොහොය දිනට ප්‍රථමදා පන්සලට කිහිප වතාවක් පැමිණි පුද්ගලයකු සමඟ නාඳුනන පුද්ගලයකු පැමිණි බවත්, ඔවුන් දවස් තුනකට පන්සලේ නැවතී සිටීමට අවසර ඉල්ලූ බවත් ඒ අනුව පොදුවේ ඕනෑම අයකුට ලබා දෙන පරිදි ඔහුට අවසර ලබාදුන් බවත් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සඳතැන්න සද්ධර්ම නිකේතනයේ වැඩ වාසය කරන තෙලුල්ලේ චන්ද්‍රානන්ද හිමියෝ සඳහන් කළහ.

දින තුනක් නැවතීමට අවශ්‍ය බව පැවසා නවාතැන් පහසුකම් ලබාගත්තද ඔවුන් දෙදෙනා පසුගිය පොහොය දින (29) සවස හදිස්සියේම විහාරස්ථාන භූමියෙන් පිටත්වීමට සූදානම් වී ඇත.

එහිදී ඔවුන් පිටත්වීමේදී වියදම් වැඩි බැවින් මොටර් රථය පන්සල භූමිය තුලම ගාල් කර යන බව පවසමින් එහි යතුර සහ දුරකථන සමඟ තවත් යතුරු කැරැල්ලක් තමන් වෙත භාරදී පන්සලෙන් නික්ම ගිය බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙම මෝටර් රථය මුල්ලේරියාවේ ප්‍රදීපා සිල්වාගේ ඝාතනයට අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යව සිටින ව්‍යාපාරිකයාගේ බව අනාවරණය වීමත් සමඟ නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා විසින් එය සිය භාරයට ගෙන ආරක්ෂාව සැපයීමට පෙරේදා (01) පියවර ගෙන තිබුණි.

සපුගස්කන්ද ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතන කිරීමෙන් පසු නුවරඑළියට පළාවිත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සමඟ කෙටිකලක දී ඇතිකරගත් සුහදතාව මත දින කිහිපයකට ඔහුගේ මොටර් රථය නුවරඑළිය සඳතැන්න විහාරයේ නවතා ගොස් ඇති බව මූලික විමර්ශනයේදී පෙනී ගිය බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඝාතනය වූ කාන්තාව කඩුවෙල සිට සියඹලාපේ දක්වා රැගෙන ගොස් තිබුණේ මෙම මෝටර් රථයේ බව ඒ වන විට කර තිබුණු පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබුණි. ඇගේ ඝාතනය සිදුව තිබුණේ සපුගස්කන්ද පොලිස් වසමට අයත් සියඹලාපේ ප්‍රදේශයේ බැවින් ඝාතන විමර්ශනය සිදුවූයේ සපුගස්කන්ද පොලිස් ස්ථානය මගිනි. එබැවින් මෙම මෝටර් රථය සපුගස්කන්ද පොලිසිය වෙනුවෙන් භාරගැනීමට නුවරඑළියට පෙරේදාම පැමිණ තිබුණේ මහබාගේ පොලිසියේ කණ්ඩායමකි. මූලික සෝදිසි කිරීම්වලින් අනතුරුව ඊයේ වන විට එම රථය සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබුණි. ව්‍යාපාරිකයාත් ඔහුගේ සගයාත් පොලිස් ස්ථානයට නීතිඥවරුන් සමඟ පැමිණ භාරවන්නේ ඒත් සමඟිනි.

ප්‍රදීපා අතුරුදන්ව ඇති බවත් ජංගම දුරකථන පවා ක්‍රියා විරහිත බවත් සඳහන් කරමින් ඇගේ දියණියක් විසින් පසුගිය 27 වෙනිදා රාත්‍රී 11.30ට පමණ මුල්ලේරියාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 28 වෙනිදා දහවල් කාලය වන විට පොලිසිය ඇයට මෙම අපරාධය සිදුවූ සියඹලාපේ නිවස සොයා ගැනීමට සමත් විය. ඒ අතර සපුගස්කන්ද පොලිසිය හිස සහ දෑත් වෙන් වූ ඇගේ නිරුවත් සිරුර ගම්වැසියන්ගේ තොරතුරු මත කොට්ටුන්න ඔයේ ගස් අතර සිරවී තිබියදී සොයා ගන්නා ලදී. මෙතෙක් ඇගේ හිස සහ සිරුරේ ඉතිරි කොටස් සොයාගෙන නැත. අධික වැසි තත්ත්වය මත ඔයේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය සැක කරයි.

සිරුර හමුවීමෙන් පසු සහ ඝාතනය සිදුවූ බව කියන නිවස හඳුනා ගැනීමෙන් අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදයි වරෙන්තු මත එම නිවෙස පරික්ෂා කිරීමට ද සපුගස්කන්ද පොලිසිය පියවර ගත්තේය. එහිදී නිවස පිටුපස කසළ ගොඩක තිබී ප්‍රදීපා සිල්වාගේ යැයි සැකකරන අර්ධ වශයෙන් පිළිස්සී තිබූ ලේ පැල්ලම් සහිත රෙදි කැබලි, තන පටයක කොටසක් හා හිසකෙස් දැවටුණු කොණ්ඩ කට්ටක් ද සොයා ගන්නා ලදී. මෙම ද්‍රව්‍ය ජාන පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට පියවර ගැනීමට පොලිසිය සූදානම් වේ. මළ සිරුර හමුවී තිබී ඇත්තේ මෙම නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් වූ ප්‍රදේශයකිනි.
පොලිසිය විමර්ශන සිදු කරයි.