seetha-incident

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හා වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇතින්න ස්කෑන් කර උණ්ඩවල බලපෑම සොයා බැලීම ගැන සතුටු වන්නේ යැයි වෙඩි වැදුණු මහරගම සීතා ඇතින්නගේ හිමිකරු, එච්.එම්.රොෂාන් මහතා පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වෛද්‍යවරුන් කණ්ඩායමක් පැමිණ ඇතින්නගේ තුවාල පිළිබඳ ස්කෑන් හා එක්ස්රේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පෙරේදා (02දා) රාත්‍රී පැවති මාධ්‍ය හමුවේදී ඔහු එසේ ප්‍රකාශ කළේය.

මහියංගණ ඇසළ පෙරහරට පෙරහරින් පසුව මහවැලි ගඟ අසල ගැට ගසා සිටියදී වනජිවි දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ මහරගම සීතා ඇතින්න ඇවිදීමේ අපහසුතාවෙන් මහියංගණ රජමහා විහාරයේ ඇත් ගාලේ ප්‍රතිකාර ලබමින් සිටී.



සීතා ඇතින්නට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ, නිලන්ග දෑල මහතාගේ හා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ මැදිහත්වීමෙන්, වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ඒ තාරක ප්‍රසාද් මහතා, වනජීවී දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් සමන්ති රණසිංහ මහත්මිය හා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මදුෂා පෙරේරා මහත්මිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයා වන තරිඳු ජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතින්න විශේෂ පර්ක්ෂාවන් තුනකට පෙරේදා (02දා) රාත්‍රියේදී ලක්කෙරිණ.

පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා මෙසේ කීය.

.“ ස්කෑන් පරීක්ෂණයෙන් අපට හොයා ගන්න පුළුවන් උනා සීතාගේ සම තුළ ගිලී පවතින උණ්ඩ කොටස් 08ක්. ඒවා සම තුළ සෙන්ටිමීටර් 03ටත් වඩා අඩු දුරකින් ගිලා බැහැලා තියෙන්නේ. ඊට අමතරව උණ්ඩ කැබලි හේතුවෙන් ඇඟ ඇතුළේ සිදුවී තියෙන තුවාලවල පැසවීමක් අපට තවම නිරීක්ෂණය උනේ නෑ. ඇඟ ඇතුළේ තියෙන්නේ රබර් උණ්ඩ කොටස්ද, නැත්නම් ඊයම් උණ්ඩ කොටස්ද කියන එක අපට තහුවරු කරගන්න ලැබුණේ නෑ. ඒක හඳුනාගන්න සැත්කමක් සිදු කරන්න තවම වෛද්‍යවරු තීරණය කරලා නෑ.”



ඇතින්නගේ ජිවිතය අවදානම් තත්වයක නොමැති බවද, තව දින කිහිපයක් ඇතින්න නිරීක්ෂණයෙන් හා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ප්‍රවාහනය කිරීමට හැකි බවද වෛද්‍ය මතය විය.

දෙවන පරීක්ෂණය ලෙස "තර්මල් ඉමේජින්" Tharmal Imaging Thermography පරීක්ෂණයටද ඇතින්න ලක් කෙරිණ.

තුන්වන පරීක්ෂණය ලෙස වෙඩිවැදුණ ස්ථානයේ උණ්ඩ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා X-Ray ගැනීම සිදු කරනු ලැබූ අතර, එම ස්ථානයේ පිහිටිම හා එම උපකරණවල තාක්ෂණයේ අඩුපාඩුකම් හේතුවෙන් එය සාර්ථක නොවීය.

ඇතින්නගේ වේදනා සමනය කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයට, ඒ පිළිබඳ අත්දැකීම් හා ප්‍රතිකාර ක්‍රම දන්නා පිරිසක් විසින් වෙඩි වැදුණ ස්ථානවල ඖෂද ගැල්වීමක් හා පත්තු බැඳීමක්ද සිදු කරනු ලැබීය.

මහියංගණ - රංජින් කරුණාවීර