siyambalape-murder-updates

මුල්ලේරියාවේ නිදරු මවගෙන් ව්‍යාපාරිකයාට නිතර නිතර කරදර සිදුවන නිසා දෙදෙනාම සැලසුම් කර මන්නයකින් පහර දී කාන්තාව ඝාතනය කළ බව අත්අඩංගුවේ පසුවන කපුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ. මුල්ලේරියාවේ තිදරු මවක ඉකුත් දා කපාකොටා ඝාතනය කර සිරුරේ කොටස් වෙන් කර සියඹලාපේ වගුරු බිමකට ගෙනැවිත් දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කපුවා පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ඒ බව ප්‍රකාශ කර ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා හා කපුවා කරන ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත්, පරීක්ෂණ නොමග යැවීම සඳහා ඔවුන් මෙම ප්‍රකාශ කර ඇති බවට සැක කරන බවත් පොලිසිය සඳහන් කරයි. මෙම කාන්තාව නිතර නිතර ඇමැතුම් දෙමින් ව්‍යාපාරිකයාට කරදර හා හිරිහැර කරන බවත්, එම නිසා මෙම ප්‍රශ්නය විසඳා ගනිමු යැයි තමා ව්‍යාපාරිකයාට යෝජනාවක් කර ඒ වෙනුවෙන් මුවහත් කළ මන්නයක් ද සූදානම් කළ බවට කපුවා ප්‍රකාශ කර ඇත.



සිද්ධිය වූ දින ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් කාන්තාව නිවසට කැඳවාගෙන පැමිණි බවත්, ඇය කාමරයේ සිට පිටතට පැමිණි අවස්ථාවේ ඇයගේ පිටුපසින් පැමිණ හිසට මන්නා පහර කිහිපයක් එල්ල කළ බවත්, ඒ සමග ඇය මියගිය බවට ද සැකකාර කපුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ. කාන්තාව ඝාතනයට ලක් වූ පසු දෙදෙනා එක්ව නිවස පිරිසුදු කර ලේ තැවරුණ බිත්තිවල තීන්ත ද ආලේප කළ බවට සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත.පසුව දෙදෙනා කාන්තාවගේ මළ සිරුර නිවසේ තබා එදින මෝටර් රථයේ රැය පහන් කළ බවටත්, පසු දින කාන්තාවගේ මළ සිරුර කැබැලි කර පොහොර උර දෙකක දමා එම මෝටර් රථයෙන් රැගෙන ගොස් කොට්ටුන්න වැවට සම්බන්ධ ඇළ මාර්ගයකට දැමූ බවත් සැකකාර කපුවා ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි. හිස සහ සෙසු කොටස් සමග මන්නය ද ඇළ මාර්ගයට දැමූ බවට සැකකරු ප්‍රකාශ කර ඇත.



මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම සිරුරු කොටස් සොයා ගැනීම තරමක් දුෂ්කර වී ඇති බව නාවික හමුදාව මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බව ද පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් තමා හා එම කාන්තාව සිද්ධිය වූ දින කඩුවෙල ප්‍රදේශයේ දී බහින් බස් වීමෙන් පසුව කාන්තාව කඩුවෙල ප්‍රදේශයෙන් මෝටර් රථයෙන් බැස ගිය බව පවසා තිබේ. පසුව ඇය ත්‍රිරෝද රථයකින් තම නිවසට පැමිණ තිබූ බවට ද සැකකාර ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කල බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

නිවසේ දී ඇය කපුවා සමග බහින්බස් වීම නිසා කපුවා ඇයට මන්නා පිහියෙන් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇය ඝාතනය කර ඇති බවත්,

තමා නිවසට පැමිණෙන අවස්ථාවේ දී කපුවා ඇය ඝාතනය කර තිබූ බවත් ඔහු පොලිසියට පවසා ඇත. “උඹ මැරුවා නම් උඹම බාර ගනින් " යැයි තමා කපුවාට පැවැසූ බවත්, පසුව ඔහු කාන්තාවගේ සිරුර කැබැලි කර පොහොර උරවල දැමූ බවත් ව්‍යාපාරිකයා පැවැසූ බව පොලිසිය පවසයි. මෙමසැකකරුවන් විමර්ශන නොමග යැවීම සඳහා මෙම පරස්පර ප්‍රකාශ කරන බව ද පොලිසිය කියයි. මෙම ඝාතනයට රුපියල් ලක්ෂ 50ක ගනුදෙනුවක් මුල් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමට දෙදෙනාගෙන් ප්‍රශ්න කරන බව ද පොලිසිය සඳහන් කරයි. පැය 72ක රැඳවුම් නියෝග මත සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිම සඳහා මහර මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය පොලිසියට ඊයේ (3) අවසර දී ඇත. සියඹලාපේ මාහේන පාරේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයකු සහ එම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කපුවකු මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කෙරේ.