somaratne-dissanayake-speaks

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මරණීය තත්වයට පත්වීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති බවට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පවසයි. රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට සිදු කරන ලද පළමු ශල්‍ය ශල්‍යකර්මයෙන් පසුව ඔහු කතාබහ සිදු කල නමුත් ඉන්පසු සිදුවූයේ කුමක්දැයි අපහැදිලි බව ඔහු අමතමින් මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.


“ජැක්සන් හදිසි අනතුර සිදුවෙලා විනාඩි ගාණකින් මම එතන හිටියේ.. මොකද එදා රූගත කිරීම් බොහෝම සාර්ථකව කෙරුණා.. ජැක්සන්ට හරි සතුටුයි.. ජැක්සන් මාව බදාගෙන කිව්වා ජැක්සන්ගේ වචනවලින්ම කියනවා නම් “ මචෝ.. අද වැඩේ මරු.. අපි හැන්දෑවට සෙට් වෙන්න ඕනේ..” කියලා.. ජැක්සන් ඉතාම ප්‍රීතියෙන් එදා හිටියේ.. මම කිව්වා “ ජැකා උඹ පලයන් හෝටලයට කලින් මම පස්සේ එන්නම්..” කියලා මට එතන තිබුණු වැඩ ඉවර කරලා මම වැඩිවෙලාවක් ගත්තේ නැහැ.. කොහොම හරි ජැක්සන් මට විනාඩි ගාණකට කලින් පිටත් වුණා.. මම පස්සෙන් ආවේ..

ජැක්සන්ගේ සිරිතක් තියෙනවා, ජැක්සන්ට මගේ ප්‍රධාන නළුවා නිසා ඔහුට මම වෙනම වාහනයක් සහ රියදුරෙක් සුදානම් කරලා තියෙනවා.. නමුත් ජැක්සන්ගේ පුරුද්දක් තියෙනවා එයා තමයි එයාගේ වාහනේ පදවා ගෙන යන්නේ.. එයාට දීලා තියෙන වාහනේ රියදුරා එයා පාවිච්චි කරන්නේ නැහැ..

පරණ පුරුදු කැබ් එක එයා Love කරන කැබ් එක එයාම පදවා ගෙන යනවා.. එදත් එහෙම තමයි ගියේ.. ඊට වාහන කිහිපයකට පස්සෙන් මාගේ වාහනේ ආවේ.. මම දැක්කා වාහන තදබදයක් තියෙනවා.. ඒ දවස්වල අරගලය කාලේ අපි හිතුවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා බැහැලා බලනකොට තමයි ජැක්සන්ගේ වාහනේ තියෙනවා වහලේ නෑ.. නොම්බරේ මම අඳුනන නිසා මේ ජැක්සන්ගේ වාහනේනේ.. කෝ ජැක්සන් කියලා කෑ ගහනකොට තමයි දැක්කේ ජැක්සන් පාරේ අයිනේ නිදිකොරෝලා හිටියා..කෙළින්ම මම ජැක්සන් ළඟට ගිහිල්ලා ජැක්සන්ට කතා කරන කොට ඇස්දෙක ඇරලා මම දිහා බලලා කිව්වා “සෝමේ මට අමාරුයි” කියලා..


ඊට පස්සේ මම කෑගැහුවා එතන හිටපු මිනිස්සුන්ට ඇයි මේ මෙහෙම පාරේ අයිනේ තියලා තියෙන්නේ.. ඊට පස්සේ මිනිස්සු කිව්වා වාහන නවත්තන්නේ නෑ සර් කියලා..

මගේ වාහනේ තියෙනවා මගේ ඩ්‍රයිවර්ට කෑ ගහලා වාහනේ ගෙන්නගෙන මමයි තවත් කිහිපදෙනෙකුයි එකතු වෙලා.. මම දන්නවා අනතුර බෙල්ලේ අමාරුව ටිකක් හොඳ නැති නිසා.. වෛද්‍ය ක්ෂේත්‍රය දන්න නිසා මම අල්ලා ගෙන කෙලින් අල්ලා ගෙන පිරිසකගේ උදව් ඇතිව මගේ වාහනයට දා ගෙන තමයි අනුරාධපුර රෝහලට අපි අරන් ගියේ.. අනුරාධපුර රෝහලේදී කරන්න ඕනේ හදිසි ප්‍රතිකාර ඔක්කෝම කරලා එතන වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත එදාම පැය ගාණක් ඇතුළත අපි කොළඹ මහරෝහලට අරගෙන ආවා..


එතනදී ඒ වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය දේවල් ඔක්කෝම කළා කියලා මම හිතනවා.. අපිට හැමදෙයක්ම කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් සිදුවුණා කියලා කියන්න පුළුවන්.. සමහර දේවල් තියෙනවා අපිට අපහැදිලි අපි දන්නේ නැති.. මම හිතනවා ඒ ප්‍රශ්න කොළඹ මහරෝහලේ වෛද්‍යවරු අපිට පැහැදිලි කළ යුතුයි.. මොකද ජැක්සන් ප්‍රධාන ශල්‍යකර්මයෙන් සනීප වුණා.. අපිත් එක්කත් කතා කළා.. ඊට පස්සේ තමයි ජැක්සන් මේ විදිහේ සිහි නැති තත්ත්වයකට පත්වුණේ.. ඒක වුණේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ.. ඒක වෛද්‍යවරුන් අපිට පැහැදිලි කරලා දිය යුතුයි..

ඒක ගැන අපි පස්සේ කතා කරමු..

මගේ චිත්‍රපයේ ප්‍රධාන චරිතය තමයි ජැක්සන් කළේ.. සිංහයාගේ චරිතය.. ජැක්සනුත් මගෙන් ඇහුවේ සිහිය ආව ගමන් “සෝමේ මොකක්ද Film එකට වෙන්නේ කියලා..” මම ජැක්සන්ට කිව්වේ “ජැකා Film එක ගැන හිතන්න එපා.. උඹ සනීප වෙලා ආවට පස්සේ අපි Film එක කරමු.. මම උඹ එනකම් බලාගෙන ඉන්නවා.. මට උඹ ඇර වෙන සිංහයෙක් නෑ.. මේ චරිතෙට කරන්න.. ඒක නිසා අපි ඒ ගැන පස්සේ කතා කරමු.. උඹ ඉස්සෙල්ලා සනීප වෙයන් කියලා..”

එහෙම ඉන්දැද්දී තමයි මේ තත්ත්වෙට අපි ආවේ.. අපි බලාගෙන හිටියා.. අපි හිතපු තරම් ඉක්මනට ජැක්සන් සුවපත් වුණේ නැහැ.“