south-korean-woman-abuse-case

දකුණු කොරියාවේදී තරුණියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවෙන් නිදහස් කරමින් ශ්‍රී ලාංකික විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණයෙන් දුන් තීන්දුව ඉවත දමා ඔහුට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.

වසර 25කට පෙර 18 හැවිරිදි කොරියානු තරුණියක ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවන්ගෙන් විත්තිකරු නිදහස් කරමින් කොළඹ මහාධිකරණයෙන් දුන් තීන්දුව අභියාචනාධිකරණයෙන්ද අනුමත කර ඇතැයි පෙන්වා දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් එලෙස අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා පෙත්සම පෙබරවාරි පළමුවැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම කැඳවිණි.

අදාළ චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව කොරියානු අධිකරණයේ නඩුවක් පවරා තිබුණද අදාළ නඩුව සම්බන්ධයෙන් මතු වූ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් විත්තිකරු නිදහස් කිරීමට කොරියානු අධිකරණය පියවර ගන්නා ලදී.

කොරියානු ශ්‍රී ලංකා අන්‍යෝන්‍යතා සහයෝගිතා ගිවිසුම යටතේ විත්තිකරු සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර ගන්නා ලෙස කොරියානු රජය ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමකට අනුව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.



ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි තීන්දු කරමින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීන්දු කළ අතර, ඊට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඇපෑලද ප්‍රතික්‍ෂේප කරමින් මහාධිකරණ තීන්දුව තහවුරු කර තිබිණි.

ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා විත්තිකරු නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය දුන් තීන්දුව ඉවත දමා විත්තිකරු වරදකරු කර ඔහුට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල ලබන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට පෙත්සම් විභාගය පැවැත්වීමට තීරණය කළේය.
-බුද්ධිමාල් රුබේරු